මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිළිබඳ නිර්වචනය උපරිම එකඟතාවයක් මත ගොඩනැගිය යුතුයි–චීනය

මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිළිබඳ නිර්වචනය, රටවල්වල තත්ත්වය පිළිබඳ පුළුල් හා ගැඹුරු පරීක්ෂණයක් මත පදනම් ව සියලු පාර්ශ්වයන් අතර උපරිම එකඟතාවයෙන් සිදු කළ යුත්තක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන උප නිත්‍ය නියෝජිත Geng Shuang මහතා පවසයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ හයවන කමිටුවේදී “මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ” යන මාතෘකාව යටතේ ඊයේ(14) පැවති දේශනයකදී ඔහු මේ බව පැවසුවේ ය.

මෑත වසරවලදී, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිළිබඳ සංකල්පය යළි යළිත් දේශපාලනික මෙහෙයවීම්වලට ලක් ව ඇති බව Geng Shuang මහතා එහිදී  ප්‍රකාශ කළේ ය. ඇතැම් රටවල් තමන්ගෙන් සහ ඔවුන්ගේ සහචරයින්ගෙන් සිදුවන මහා පරිමාණ හා ක්‍රමානුකූල මානව හිමිකම් උල්ලංඝනයන් නොසලකා හරිමින්, අනෙකුත් රටවල් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදු කරන බවට චෝදනා කිරීමේ උනන්දුවකින් කටයුතු කරයි. සියලුම පාර්ශ්වයන් ද්විත්ව ප්‍රමිතීන්ට සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ දේශපාලනීකරණයට හා ලේබල් කිරීමට ඒකාබද්ධව විරුද්ධ විය යුතුය.

අපරාධවලට එරෙහිව සටන් කිරීමේ සහ මානව හිමිකම් ආරක්ෂා කිරීමේ මුවාවෙන් අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම සහ සන්නද්ධ ආක්‍රමණ සිදු කිරීම වැළැක්වීමට පියවර ගත යුතුය. ඒ සඳහා, “මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ වැළැක්වීම සහ දඬුවම් කිරීම පිළිබඳ කෙටුම්පත” තුළ, රාජ්‍ය ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීම, ප්‍රචණ්ඩත්වය යෙදවීම හෝ බලයෙන් තර්ජනය කිරීම තහනම් කිරීම මෙන්ම අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම වැනි ජාත්‍යන්තර නීතියේ මූලික මූලධර්ම ඉස්මතු කළ යුතු බව Geng Shuang මහතා එහිදී පැවසීය.