මානුෂීය සහන සේවකයින්ගේ සහ එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ශක්තිමත් ක්‍රියාමාර්ග ගන්නා ලෙස චීනය ඉල්ලා සිටී

ගැටුම්වලට මැදිව සිටින සිවිල් වැසියන් ආරක්ෂා කිරීමේ ගැටළුව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ (2) විවෘත රැස්වීමක් පැවැත්වීය. ගැටුම් පවතින ප්‍රදේශයන් හි මානුෂීය සහන සේවාවන්වල නිරත කණ්ඩායම් සහ එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලය ආරක්ෂා කිරීම සඳහා වන අවශ්‍යතාවයේ හදිසිතාව අවබෝධ කර ගනිමින් ශක්තිමත් ක්‍රියාමාර්ග ගන්නා ලෙස චීන නියෝජිත Fu Cong මහතා එහිදී ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේ ය.

2024 වසරේදී යුද ගැටුම්වලට මැදිව මානුෂීය සහන සේවකයින් 377 දෙනෙකු මිය ගොස් ඇති බව Fu Cong මහතා පැවසීය. ජාත්‍යන්තර මානුෂීය නීතිය යළි යළිත් උල්ලංඝනය වී ඇති අතර, ගාසා තීරය, ලෙබනනය, සුඩානය, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය සහ අනෙකුත් ස්ථානවල මානුෂීය සහන සේවකයින්ගේ ආරක්ෂාව බරපතල ලෙස තර්ජනයට ලක්ව ඇත. එබැවින් සටන් විරාමයන් ප්‍රවර්ධනය කිරීමට සහ යුද ගැටුම් අවසන් කිරීමට වඩාත් බලගතු ක්‍රියාමාර්ග ගන්නා ලෙස චීනය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටී. එමෙන්ම, සුමට මානුෂීය ප්‍රවේශයක් සහතික කිරීම, මානුෂීය නීතියේ අධිකාරිය තහවුරු කිරීම, ආරක්ෂක පද්ධතිය වැඩිදියුණු කිරීම සහ සාම සාධක හමුදා පුහුණුව සහ හදිසි ප්‍රතිචාර දැක්වීම ශක්තිමත් කිරීම සඳහා වන අවශ්‍යතාව වෙනුවෙන් පියවර ගන්නා ලෙස ද චීනය ඉල්ලා සිටින බව ඔහු පැවසීය.

තවද චීනය ද්විත්ව ප්‍රමිතීන්ට විරුද්ධ වෙමින්, සියලුම මානුෂීය සේවකයින් එක හා සමානව ආරක්ෂා කළ යුතු බව ද Fu Cong මහතා අවධාරණය කළේය. ඒ අනුව ජාත්‍යන්තර ප්‍රජාව හා එක්ව මානුෂීය නීතිය ආරක්ෂා කර කල් පවත්නා සාමය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් චීනය පෙනී සිටින බව ද ඔහු පැවසීය.