මැකාවු විශේෂ පරිපාලන කලාපය චීනයට යළි එක් වීමේ 25වැනි සංවත්සරය චීන ජනපති ප්‍රධානත්වයෙන්…


මැකාවු විශේෂ පරිපාලන කලාපය යළි චීනයට එක් වීමේ 25වැනි සංවත්සරයට චීන
ජනාධිපති ෂී ජින් පිං මහතා අද(20) සහභාගී වුණා.

මැකාවු යළි චීනයට පැමිණ ගත වූ වසර 25 තුළ චීන මධ්‍යම රජය සහ අභ්‍යන්තර ප්‍රදේශය අතර ශක්තිමත් අනුබලයක් යටතේ මැකාවු විශේෂ ලක්ෂණ සහිත‘එක් රටක් ක්‍රම දෙකක්’යන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙහි ලා විශාල ජයග්‍රහණයක් ලබා ඇති බව ෂී ජින් පිං මහතා එහිදී කියා සිටියා.

එසේම මැකාවු මේවනවිට ආර්ථික හා සමාජ සංවර්ධන‍යේ ඓතිහාසික ප්‍රගමනයක් අත්කර ගෙන ඇති බවත්, සංවර්ධන ඉලක්ක කෙරෙහි අවධානය යොමු කරමින් දිගුකාලීන හා ස්ථාවර සංවර්ධන ප්‍රවණතාවක් පවත්වාගැනීම සඳහා අඛණ්ඩව කටයුතු කර ඇති බවත් චීන ජනපතිවරයා ප්‍රකාශ කළ බවයි චීන මාධ්‍ය පවසන්නේ.

‘එක් රටක්, ක්‍රම දෙකක්” ප්‍රතිපත්තියට සැලකිය යුතු ආයතනික වාසි සහ ප්‍රබල ජීව ශක්තියක් ඇති බවත් එය දිගු කාලීනව පවත්වා ගත යුතු බවත් මැකාවු යළි මව්රටට පැමිණීමෙන් පසු විශිෂ්ට ජයග්‍රහණ දිනා ගැනීමෙන් එය සනාථ වී ඇති බවත් ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කර තිබෙනවා.

එමෙන්ම මෙම, විශේෂ පරිපාලන කලාපයේ පාලන කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට ප්‍රයත්න දැරීම, විවෘතභාවය සඳහා ඉහළ මට්ටමේ වේදිකාවක් ගොඩනැගීමට උත්සාහ දැරීම සහ, සමාජ සමගිය හා ස්ථාවරත්වය පවත්වා ගැනීම යන සිව් වැදෑරුම් යෝජනාවන් ද ෂී ජින් පිං මහතා එහිදී ඉදිරිපත් කළ බවත් සඳහන් වනවා.