ලබන වසරේ සිට ඇතැම් භාණ්ඩ සඳහා චීනයේ ආනයන බදු සංශෝධනය වේ

ඇතැම් භාණ්ඩවල ආනයන තීරු බදු සහ එහි අනුපාත සංශෝධනය කිරීමට චීනය පියවර ගනී.

‘චීන මහජන සමූහාණ්ඩුවේ තීරු බදු නීතිය’ හා අදාළ නීති-රීතිවලට අනුව, ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට චීන රාජ්‍ය මණ්ඩලයේ තීරු බදු පිළිබඳ කමිටුව මෙම පියවර ගැනීමට තීරණය කර ඇත.

ඒ අනුව, 2025 වසරේ දී, නිෂ්පාදන 935ක් සඳහා, ‍චීනයේ වඩාත් වාසිදායක තීරු බදු අනුපාතය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ. එමෙන් ම, චීනයේ නිදහස් වෙළෙඳ ගිවිසුම් 24ක් යටතේ හා සහනදායී ප්‍රතිපත්තීන්ට අනුව, රටවල් හා කලාප 34ක නිෂ්පාදන කරනු ලබන ඇතැම් ආනයන භාණ්ඩ සඳහා ද, නව සංශෝධිත බදු අනුපාතයන් ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමටත් පියවර ගෙන ඇත. මීට අමතරව,චීනය සමග රාජ්‍යතාන්ත්‍රිකභාවය පිහිටුවා ඇති ඌණ සංවර්ධිත රටවල් 43ක් වෙත, 2025 වසරේ දීත්, තීරු බදු රහිත අනුග්‍රහය අඛණ්ඩ ව සැපයීමට ද අපේක්ෂිත ය. එවැනි රටවල සංවර්ධනය වෙනුවෙන් තවදුරටත් පිටුබලයක් ලබා දීම එහි අරමුණ වී ඇත.