ලෝක සාමය සහ ස්ථාවරත්වය වෙනුවෙන් එක්ව ඉදිරියට යාමේ අවශ්‍යතාව චීන – බ්‍රසීල නායකයින් අවධාරණය කරයි

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා බ්‍රසීල ජනාධිපති Luiz Inácio Lula da Silva‌ මහතා සමග දුරකථන සංවාදයක නිරත වෙයි. එම සංවාදය අද (23) පෙරවරුවේ පැවැත්විණ.

දෙරට සම්බන්ධතා වඩාත් සාධාරණ ලොවක් හා වඩාත් තිරසර මිහිතලයක් ගොඩ නැංවීමේ හා පොදු ඉරණමක් සහිත චීන-බ්‍රසීල ප්‍රජාවක් දක්වා ඉහළ නැංවූ බවට 2024 වසරේදී තමා Lula ජනාධිපතිවරයා සමග සිදු කළ ඒකාබද්ධ ප්‍රකාශනය එහිදී ෂී ජින් පිං ජනාධිපතිවරයා සිහිපත් කළේ ය. ගෙවුණු වසරකට වැඩි කාලය තුළ එම සම්බන්ධතා ගෝලීය දකුණේ රටවල් සඳහා සමගිය හා සහයෝගිතාව පිළිබඳ ආදර්ශයක් බවට පත්ව ඇතැයි හෙතෙම කියාසිටී.

බ්‍රසීලය සමග එක්ව විවිධ ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සහයෝගිතා පූර්ණ වශයෙන් ඉදිරියට ගෙන යාමට චීනය අපේක්ෂා කරයි. නොසන්සුන්තාවකට මුහුණ දී ඇති වත්මන් ගෝලීය තත්ත්වය යටතේ ගෝලීය දකුණේ ප්‍රධාන සාමාජිකයන් වශයෙන් චීනය හා බ්‍රසීලය ලෝක සාමය හා ස්ථාවරත්වය මෙන්ම ගෝලීය කළමනාකරණය වෙනුවෙන් සංවර්ධනාත්මක මෙහෙවරක් ඉටු කරමින් සිටී. එක්සත් ජාතීන්ගේ සංවිධානයට හිමි කේන්ද්‍රීය ස්ථානය සහ ජාත්‍යන්තර යුක්තිය හා සාධාරණත්වය රැකගැනීමේ වගකීම චීනයට මෙන්ම බ්‍රසීලයට ද පැවරී ඇතැයි චීන ජනාධිපතිවරයා පවසයි. ලතින් ඇමරිකානු හා කැරිබියන් රටවල මිත්‍රයෙකු හා හවුල්කරුවෙකු වීමට චීනය කැමති බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

Lula ජනාධිපතිවරයා එහිදී කියාසිටියේ 2024 වසරේ චීන ජනාධිපතිවරයාගේ බ්‍රසීල සංචාරය ද්විපාර්ශ්වික සම්බන්ධතා වඩාත් ඉහළ මට්ටමකට ගෙන ගොස් ඇති බවයි. චීනය සමග එක්ව ද්විපාර්ශ්වික සබඳතා මෙන්ම ලතින් ඇමරිකා – චීන සම්බන්ධතා තවදුරටත් ඉදිරියට ගෙන යාමට බ්‍රසීලය කැමති බව හෙතෙම පවසයි. වත්මන් ගෝලීය තත්ත්වය කනස්සල්ලට ලක් වන්නකි. එක්සත් ජාතීන්ගේ අධිකාරිය රැකගැනීමට සහ බ්‍රික්ස් රටවල සහයෝගිතාව ශක්තිමත් කිරීමට මෙන්ම කලාපීය හා ලෝක සාමය හා ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහාත් බ්‍රසීලය චීනය සමග සමීපයෙන් කටයුතු කිරීමට කැමති බව ද බ්‍රසීල ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.