හයවන ලෝක පාර්ලිමේන්තු කථානායකවරුන්ගේ සමුළුව ජූලි මස 29 වනදා සිට 31 වනදා දක්වා ජිනීවාහිදී පැවැත්විණ. චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති Zhao Leji මහතා එම සමුළුවට සහභාගී වෙමින් “බහුපාර්ශ්විකත්වය තහවුරු කරමින් එක්ව සුන්දර නිවහනක් ගොඩනැගීම” යන මාතෘකාව යටතේ දේශනයක් පැවැත්වීය.
වර්තමානයේ මානව වර්ගයාගේ සාමය සහ සංවර්ධනය, දැඩි අභියෝගයන්ට මුහුණ දී සිටින බවත්, නව ආකාරයේ ජාත්‍යන්තර සබඳතා ප්‍රවර්ධනය කිරීමේ දී ක්‍රියාකාරී කාර්යභාරයක් ඉටු කිරීමේ වගකීම ව්‍යවස්ථාදායකය සතු බවත් සිය දේශනයේදී Zhao Leji මහතා ප්‍රකාශ කළේය. ව්‍යවස්ථාදායක ආයතනයන් ලෝක සාමය සහ සුසංගතභාවයේ ආරක්ෂකයින්, ගෝලීය සංවර්ධනය සහ සමෘද්ධියේ ප්‍රවර්ධකයින්, ශිෂ්ටාචාර අතර හුවමාරු සහ අන්‍යෝන්‍ය අධ්‍යයනය සඳහා මෙහෙයවන්නන් සහ ජාත්‍යන්තර සාධාරණත්වය හා යුක්තියේ ප්‍රවර්ධකයින් ලෙස ක්‍රියා කළ යුතු බව ද ඔහු පෙන්වා දී තිබේ.
ගෝලීය සංවර්ධන මුලපිරුම, ගෝලීය ආරක්ෂක මුලපිරුම සහ ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම පොදුවේ ක්‍රියාත්මක කිරීමටත් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් එක්ව ගොඩනැගීමටත්, අන්තර් පාර්ලිමේන්තු සංගමය සහ විවිධ රටවල ව්‍යවස්ථාදායක ආයතන සමඟ හුවමාරු සහ සහයෝගීතාව ශක්තිමත් කිරීමට චීන ජාතික මහජන කොංග්‍රසය කැමැත්තෙන් සිටින බව Zhao Leji මහතා අවධාරණය කළේය.
Zhao Leji මහතා ජූලි 30 වන දා පැවති සමුළුවේ පොදු විවාදයේ මුලසුන දැරීය. ඉන් අනතුරුව, ඔහු අන්තර් පාර්ලිමේන්තු සංගම් සභාපතිනි Tulia Ackson මහත්මිය සහ මහලේකම් Martin Chungong මහතා මෙන්ම බ්‍රසීලය, පාකිස්ථානය, රුසියාව සහ කසක්ස්තානය යන රටවල පාර්ලිමේන්තු නායකයින් ද හමුවිය.