විස්තීර්ණ උපායමාර්ගික සහයෝගීතාව ඉදිරියට ගෙන යාමට චීනයත් වියට්නාමයත් සූදානම්

වියට්නාමය සමඟ විස්තීර්ණ උපායමාර්ගික සහයෝගීතාව, ඉහළ ගුණාත්මක හා ගැඹුරු මට්ටම් කරා රැගෙන යාමට චීනය කටයුතු කරන බව චීන අගමැති Li Qiang මහතා පවසයි.

චීන – ආසියාන් (ASEAN) සහ ගල්ෆ් සහයෝගිතා කවුන්සිල (GCC) සමුළුවට සමගාමීව වියට්නාම අගමැති Pham Minh Chinh මහතා සමඟ පැවති හමුවකදී හෙතෙම මේ බව පැවසී ය.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පසුගියදා සිදු කළ සාර්ථක වියට්නාම රාජ්‍ය සංචාරය පිළිබඳව ද සිහිපත් කරමින් චීන අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේ, එම සංචාරයේ ප්‍රතිඵල ක්‍රියාත්මක කිරීම සඳහා චීනය වියට්නාමය සමඟ කටයුතු කිරීමට සූදානම් බව ය.

එමෙන්ම විවෘතභාවය සහ සංවර්ධනය සඳහා කැපවී සිටින චීනය, වියට්නාමය සමඟ සන්නිවේදනය සහ සහයෝගීතාව ශක්තිමත් කිරීමට‍ත්, ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය ඒකාබද්ධව ආරක්ෂා කිරීමටත්, ගෝලීය ආර්ථික හා වෙළඳාම් පිළිවෙත ආරක්ෂා කිරීමට සහ ගෝලීය දකුණේ රටවල පොදු අවශ්‍යතා ආරක්ෂා කිරීමටත් බලාපොරොත්තු වන බව Li Qiang මහතා වැඩිදුරටත් පැවසීය.

මෙහිදී අදහස් දක්වමින් වියට්නාම අගමැති Pham Minh Chinh මහතා සඳහන් කළේ, අභියෝගයන්ගෙන් පිරී ඇති වත්මන් ජාත්‍යන්තර තත්ත්වය හමුවේ, චීනය සමඟ සන්නිවේදනය සහ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට සහ නිත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා ස්ථිරව ආරක්ෂා කිරීමට තම රට සූදානම් බව ය.