සහයෝගීතාව චීන-යුරෝපා සංගම් සබඳතාවන් හි මූලික හරය‍ විය යුතු බව චීන අගමැති කියයි

ජාත්‍යන්තර භූ දර්ශනය කෙසේ විකාශනය වුවද, චීනය සහ යුරෝපා සංගමය සඳහා ඇති එකම නිවැරදි තේරීම සහයෝගීතාවය බව චීන අගමැති ලී චංග් (Li Qiang) මහතා පවසයි.

බෙයිජිං හි මහජන මහා ශාලාවේ පැවති 25 වන චීන-යුරෝපා සංගම් සමුළුවේ සම-සභාපතිත්වය දරමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේ, යුරෝපා කවුන්සිලයේ සභාපති අන්තෝනියෝ කොස්ටා (Antonio Costa) මහතා සහ යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් (Ursula von der Leyen) මහත්මිය සමඟ පැවති හමුවකදීය.

රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර ගෙවුණු වසර 50 තුළ, චීන-යුරෝපා සංගම් සබඳතා ස්ථාවර සංවර්ධනයක් පෙන්නුම් කරමින් ඵලදායී ප්‍රතිඵල ලබා දී ඇති බවත්, දෙපාර්ශ්වය අතර ගෝලීය වශයෙන් වැදගත් ද්විපාර්ශ්වික සබඳතා උපායමාර්ගිකව ශක්තිමත් කිරීමට අඛණ්ඩව සහය වන බවත් චීන අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

එහෙත්, අන්‍යෝන්‍ය ගෞරවය, අවබෝධය සහ විවෘතභාවය නොමැති විට, චීන-යුරෝපා සංගම් සහයෝගීතාව ඇණහිට දෙපාර්ශ්වයටම හානියක් සිදුවන බව හෙතෙම පෙන්වා දුන්නේය.

එබැවින් සංවාද සහ උපදේශන තුළින් ගැටළුකාරී තත්ත්වයන් නිසි ලෙස හැසිරවීමේ අවශ්‍යතාව අවධාරණය කළ ඔහු ප්‍රකාශ‍ කළේ, වෙළඳාම සහ ආයෝජන මෙන්ම කෘතිම බුද්ධිය, ඩිජිටල් ආර්ථිකය සහ හරිත සංවර්ධනය වැනි නැගී එන ක්ෂේත්‍රයන්හි ද යුරෝපා සංගමය සමඟ පුළුල් සහයෝගීතාවයක් චීනය බලාපොරොත්තු වන බවයි.

යුරෝපයේ ආයෝජනය කරන චීන ව්‍යවසායන් සඳහා සාධාරණ සහ වෙනස් කොට සැලකීම්වලින් තොර පරිසරයක් ලබා දෙමින් වෙළඳපල මූලධර්මවලට අනුගත වන ලෙසත් චීන අග්‍රාමාත්‍යවරයා යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටියේය.

එහිදී ඔහු යළි අවධාරණය කර සිටියේ, වෙනස්වන සහ කැළඹිලි සහිත ජාත්‍යන්තර තත්ත්වයන් තුළ, ලොව ප්‍රධාන බලවේගයන් මෙන්ම ප්‍රධාන වෙළඳපොළ ද වන චීනය සහ යුරෝපා සංගමය සමීප සහයෝගීතාවයක නිරත වීම වඩාත් වැදගත් වන බවයි.

එමෙන්ම චීනය සහ යුරෝපා සංගමය නිදහස් වෙළඳාම අවංකව ආරක්ෂා කරන තෙක් පමණක්, ගෝලීය ආර්ථිකය සහ වෙළඳාම ගතිකව පවතිනු ඇති බව පවසන අගමැති ලී චංග් (Li Qiang) මහතා පෙන්වා දෙන්නේ, දෙපාර්ශ්වයම එක්ව බහුපාර්ශ්විකත්වය සහ නිදහස් වෙළඳාම තහවුරු කරමින් ඒකපාර්ශ්විකත්වයට මෙන්ම ආරක්ෂණවාදයට ද විරුද්ධ විය යුතු බව ය.

තවද, ගෝලීය පාලනයට අදාළ එක්සත් ජාතීන්ගේ මූලික තත්ත්වයන්ට ස්ථිරව සහාය වෙමින්, ලෝක වෙළඳ සංවිධානයේ ප්‍රතිසංස්කරණ හා සංවර්ධනයට සහාය විය යුතු අතර, ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය මෙන්ම ලෝක සාමය, ස්ථාවරත්වය හා සමෘද්ධිය ඒකාබද්ධව ප්‍රවර්ධනය කළ යුතු බව ද චීන අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මේ අතර මෙහිදී අදහස් දක්වමින් යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයා මෙන්ම යුරෝපා කොමිසමේ සභාපතිවරිය ද අවධාරණය කර සිටියේ, ලොව වැදගත් ආර්ථිකයන් වන යුරෝපා සංගමය සහ චීනය ගෝලීය සමෘද්ධිය සහ ස්ථාවරත්වය කෙරෙහි බලපෑමක් ඇති කරන බවයි.

එබැවින් දිගුකාලීන ස්ථාවර හවුල්කාරිත්වයක් වර්ධනය කිරීම සඳහා සිය කැපවීම තහවුරු කරමින්, චීනය සමඟ සංවාදය සහ සන්නිවේදනය ශක්තිමත් කර, එකිනෙකාගේ ගැටළු නිසි ලෙස විසඳීමට යුරෝපා සංගමය කැමැත්තෙන් සිටින බව ඔවුහු පැවසූහ.

තවද, යුරෝපා සංගම් නායකයින් මෙහිදී පළ කළ අදහස්වලට අනුව, දේශගුණික විපර්යාස සහ ජෛව විවිධත්ව ආරක්ෂාව වැනි ගෝලීය අභියෝගයන්ට මුහුණ දීම, ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ සබඳතාවන් හි කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කිරීමේදී ලෝක වෙළඳ සංවිධානයට සහාය වීම සහ බහුපාර්ශ්විකත්වය ඒකාබද්ධව පවත්වා ගැනීම සඳහා ද චීනය සමඟ කටයුතු කිරීමට යුරෝපා සංගමය කැමැත්ත පළ කර ඇත.

මෙම සමුළුවෙන් පසු චීන සහ යුරෝපා සංගම් නායකයින්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරන ලදී.

මේ අතර චීන-යුරෝපා සංගම් ව්‍යාපාරික නායකයින්ගේ සම්මන්ත්‍රණයකට ද එක් වෙමින් චීන අගමැති ලී චංග් (Li Qiang) මහතා අවධාරණය කර සිටියේ, බාහිර අවිනිශ්චිතතාවයන්ට මුහුණ දීම සඳහා චීනය සහ යුරෝපා සංගමය, අන්‍යෝන්‍ය වෙළඳාම මෙන්ම ආයෝජන සබඳතා පුළුල් කළ යුතු බව ය.

එමෙන්ම නැගී එන ආරක්ෂණවාදය සහ ඒකපාර්ශ්විකත්වය හමුවේ, චීනයට සහ යුරෝපා සංගමයට නිදහස් වෙළඳාම මෙන්ම බහුපාර්ශ්විකත්වය ආරක්ෂා කිරීමටත්, සමීප ආර්ථික හා වෙළඳ සහයෝගීතාවය හරහා එක්ව කටයුතු කිරීමෙන් ආර්ථික ගෝලීයකරණයේ සහ ජාත්‍යන්තර කාර්මික හා සැපයුම් දාමයන් හි ස්ථාවරත්වයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කිරීමටත් හැකි බව ඔහු පැවසීය.

තවද, චීනය සිය ඉහළ මට්ටමේ විවෘතභාවය තවදුරටත් පුළුල් කරන බවත්, විදේශ ආයෝජන සඳහා එහි සෘණ ලැයිස්තුව කෙටි කරන බවත්, බුද්ධිමය දේපළ ආරක්ෂාව ශක්තිමත් කරමින් සාධාරණ තරඟකාරිත්වය ආරක්ෂා කරන බවත් ලී චංග් (Li Qiang) මහතා සඳහන් කළේය.

චීනය කාර්මික බලවතෙකු පමණක් නොව නවෝත්පාදනයේ ඉහළම කාර්ය සාධනයක් ඇති කරන බව පෙන්වා දුන් යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් (Ursula von der Leyen) මහත්මිය මෙහිදී තවදුරටත් පැවසුවේ, චීනයෙන් වෙන්වීමට යුරෝපා සංගමයට කිසිදු අදහසක් නොමැති බවත්, යුරෝපයේ ආයෝජනය කිරීමට චීන ව්‍යවසායන් සාදරයෙන් පිළිගන්නා බවත් ය.

එමෙන්ම චීනය සමඟ එහි දිගුකාලීන, ස්ථාවර සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක හවුල්කාරිත්වය ගැඹුරු කළ හැකි අවස්ථාවක් ලෙස, දෙපාර්ශ්වය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන් හි 50 වන සංවත්සරය භාවිත කිරීමට යුරෝපා සංගමය සූදානම් බව ද ඇය මෙහිදී පැවසුවාය.