ස්වෝත්සාහයෙන් නැගී සිටීමට චීනය ගන්නා උත්සාහය කැළඹිලි සහගත වත්මන් ලෝකයට ප්‍රබල ස්ථාවරත්වයක් එක් කරයි

මේ වස‍රේ තවමත් මාස කිහිපයක් පමණක් ගත වුවද ලතින් ඇමරිකාවේ සිට මැදපෙරදිග කලාපය දක්වා වාර්තා වන ගැටුම්කාරී තත්ත්වයන් හේතුවෙන්, ලෝකය වඩාත් කැළඹිලි සහගත දිශානතියක් කරා යමින් සිටින බව පෙනෙන්නට ඇත. සිය 15 වැනි පස් අවුරුදු සැලසුම මේ වසර මුලදී අධිෂ්ඨානශීලිව ආරම්භ කළ චීනය මෙවන් පසුබිමක අනුගමනය කරන පිළිවෙත් සම්බන්ධව බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබේ. බෙයිජිංහි පැවැත්වෙන චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිවාරය අතරතුර ඊයේ (8) චීන විදේශ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය හමුව, චීනයේ එම පිළිවෙත් ලොව හමුවේ තැබීම සඳහා කදිම අවස්ථාවක් විය.

                දෙවන ලෝක යුද්ධයෙන් පසු ජගත් පටිපාටිය බරපතල හානියකට ලක් වූ අතර එක්සත් ජාතීන්ගේ කේන්ද්‍රීය ස්ථානය ද අභියෝගයන්ට මුහුණ දී තිබේ. වගකීම් සහගත බලවතෙකු වශයෙන් චීනය ජගත් නීතියේ පාලනය රැකගන්නා අතර ආධිපත්‍යයට හා දාමරිකවාදයට තරයේ විරුද්ධ වන බවත්, එක්සත් ජාතීන්ගේ කේන්ද්‍රීය ස්ථානය රැකගනිමින් සමානාත්මතාවයෙන් යුත් විධිමත් බහුධ්‍රැවීය ‍ලොවක් ගොඩ නැංවීමට කටයුතු කරන බවත්, චීන විදේශ අමාත්‍ය වං යී මහතා එම මාධ්‍ය හමුවේදී කියා සිටියේ ය.

             චීනයේ මෙම ස්ථාවරය වචනයට පමණක් සීමා වී නොමැත. ගෙවුණු වසර තුළ චීනය සිය ක්‍රියාවෙන් ද එම ස්ථාවරය පෙන්නුම් කර තිබේ. ‍ගෙවුණු වසරේ චීනයේ මුලපිරුමෙන් ජාත්‍යන්තර සමථ ආයතනය ස්ථාපිත කිරීම, තායිලන්තය හා කාම්බෝජය අතර ගැටුම සමනය කිරීමට මැදිහත්වීම, ශැංහයි සහයෝගිතා සංවිධානය හා බ්‍රික්ස් රටවල යාන්ත්‍රණය මගින් ගෝලීය දකුණ වඩාත් ශක්තිමත් කිරීමට දායක වීම වැනි ක්‍රියාවන් ඊට කදිම නිදසුන්ය. මෑතකදී මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති යුදමය උණුසුම හමුවේ චීනය යුද්ධය දියත් කළ රටවල් සෘජුව හෙළා දුටු අතර යුද ගිනි නිවීමට දැඩි ප්‍රයත්නයක නිරතව සිටී.

            චීන විදේශ අමාත්‍ය වං යී මහතා එම මාධ්‍ය හමුවේදී චීනයේ සංවර්ධන පිළිවෙත් සම්බන්ධයෙන් ද යළි ප්‍රකාශ කර ඇත. සෙසු රටවල් සමග එක්ව විවෘත සහයෝගිතා රාමුවක් ඔස්සේ අන්‍යෝන්‍ය යහපත හා පොදු ජයග්‍රහණ ලබාගැනීම චීනයේ නොවෙනස් වන අභිලාෂය බව චීන විදේශ අමාත්‍යවරයා එහිදී යළි අවධාරණය කර ඇත. ලොව දෙවන විශාලතම ආර්ථිකයේ හිමිකරු වශයෙන් චීනය, සැමවිටම ස්වශක්තියෙන් නැගී සිටීමට අවධානය යොමු කිරීම, කැළඹිලි සහගත වත්මන් ලෝකයට ප්‍රබල ස්ථාවරත්වයක් එක් කිරීමකි. ඉදිරි වසර පහ තුළ 15 වැනි පස් අවුරුදු සැලසුම් ක්‍රියාත්මක කිරීමෙන් චීනය තව තවත් සවිබලගැන්වෙමින් ලෝක සාමය, ස්ථාවරත්වය හා සංවර්ධනය උදෙසා වඩා වැඩි දායකත්වයක් ලබාදීමට අපේක්ෂා කෙරේ.