සාම්ප්‍රදායික මිත්‍රත්වය තහවුරු කරමින් ද්විපාර්ශ්වික සබඳතා ඉදිරියට ගෙන යාමට චීනයත්, වෙනිසුවෙලාවත් සූදානම්

වෙනිසුවෙලා ජනාධිපති නිකොලස් මදුරෝ මහතාගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් පසුගියදා(10) පැවති උත්සවයට චීන ජනපති ෂී ජින්පිං මහතාගේ විශේෂ නියෝජිත වැන්ග් ඩොංමින් මහතා සහභාගී විය.

පදවි ප්‍රාප්ති උත්සවයෙන් පසු ජනපති මදුරෝ මහතා, වෙනිසුවෙලා ජනාධිපති මන්දිරයේ දී, චීන ජාතික මහජන ‍කොංග්‍රසයේ ස්ථා‍වර කමිටුවේ උප සභාපති ද වන වැන්ග් ඩොංමින් මහතා හමු විය.

පසුගිය වසරේදී දෙපාර්ශ්වය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 50 වන සංවත්සරය උත්කර්ෂවත් ලෙස සැමරූ බවත්, දෙරට අතර මිත්‍රත්වය දෙරටේ ජනතාවගේ හදවත් තුළ වඩාත් ගැඹුරින් මුල් බැස ඇති බවත් වැන්ග් ඩොංමින් මහතා මෙහිදී පැවසීය.

එමෙන්ම චීන සහ වෙනිසුවෙලා රාජ්‍ය නායක දෙපළ විසින් ඇති කර ගත් වැදගත් එකඟතා ක්‍රියාත්මක කිරීම, සාම්ප්‍රදායික මිත්‍රත්වය තහවුරු කිරීම සහ සංවර්ධනය කිරීම මෙන්ම දෙරටේ ජනතාවගේ ප්‍රයොජනය සඳහා ද්විපාර්ශ්වික සබඳතා ඉදිරියට ගෙන යාම සඳහා වෙනිසුවෙලා රජය සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී අදහස් දක්වමින් වෙනිසුවෙලා ජනාධිපති නිකොලස් මදුරෝ මහතා සඳහන් කළේ, දෙරට අතර සර්ව කාලගුණික උපායමාර්ගික හවුල්කාරිත්වය වර්ධනය කිරීම සඳහා වෙනිසියුලාව විශාල වැදගත්කමක් ලබා දෙන අතර, එහි මූලික අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා චීනයට ස්ථිරව සහාය දෙන බවයි.

එමෙන්ම විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගීතාව ඉදිරියට ගෙන යාමට, පාලන අත්දැකීම් හුවමාරුව ශක්තිමත් කිරීමට සහ ද්විපාර්ශ්වික සබඳතා නව මට්ටමකට ඔසවා තැබීමට ද චීනය සමඟ අත්වැල් බැඳ ගැනීමට වෙනිසියුලාව සූදානම් බව ඔහු පැවසීය.