සීෂෙල්ස් දූපත් රාජ්‍යය සමග පවතින උපායමාර්ගික හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමට සූදානම් බවට චීන උප ජනපතිගෙන් ප්‍රකාශයක්

සීෂෙල්ස් දූපත් රාජ්‍යය සමග පවතින උපායමාර්ගික හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමට සහ ප්‍රායෝගික සහයෝගීතාව පුළුල් කිරීමට අපේක්ෂා කරන බව චීන උප ජනාධිපති  Han Zheng මහතා පවසයි.  හෙතෙම මේ බව කියාසිටියේ 28 වනදා සිට 30වනදා දක්වා සීෂෙල්ස්හි සංචාරයක නිරත වෙමිනි.

මෙම සංචාරයේදී  Han Zheng මහතා සීෂෙල්ස් රාජ්‍යයේ ජනාධිපති Patrick Herminie සහ උප ජනාධිපති Sebastien Pillay යන මහත්වරුන් සමග සාකච්ඡා පවත්වා ඇත. එමෙන්ම ඔහු චීන-සීෂෙල්ස් රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 50වන සංවත්සරය වෙනුවෙන් පැවති සැමරුම් උත්සවයකට ද සහභාගී වී තිබේ.

චීන උප ජනාධිපතිවරයා Patrick Herminie මහතා වෙත චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ උණුසුම් සුබ පැතුම් පිරිනමා ඇත. මෙම සුවිශේෂ අවස්ථාවේ  දෙරට අතර පවතින සබඳතාව විවිධ රටවල් අතර පවතින අවංක මිත්‍රත්වය, සමානාත්මතාවය මෙන්ම ජයග්‍රාහී සහයෝගීතාවය සඳහා මනා ආදර්ශයක් ලෙස පෙන්වා දිය හැකි බව Han Zheng මහතා එහිදී සඳහන් කළේය.

මෑතකදී ෂී ජින් පිං මහතා චීනය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වන අප්‍රිකානු රටවල් 53කට මෙම වසරේ මැයි මස 1වැනි දින සිට ශුන්‍ය බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව නිවේදනය කළේය.  එයට අනුව පොදු සංවර්ධනය සඳහා වන ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුම පිළිබඳ කටයුතු සඳහා දෙපාර්ශ්වය දැනටමත් එකඟතාවයකට පැමිණ ඇති බව ද Han Zheng මහතා පැවසීය.

චීන ජනාධිපතිවරයා වෙත සිය සුබ පැතුම්  එක් කළ සීෂෙල්ස්  ජනාධිපතිවරයා එහිදී කියාසිටියේ සීෂෙල්ස්-චීන සබඳතා මේ වනවිට උසස් මට්ටමක පවතින බවය. එකම චීනය මූලධර්මය අනුගමනය කරන අතර චීන ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ‍ප්‍රධාන ගෝලීය මුලපිරීම් ඉතා වැදගත් බව ද  Patrick Herminie මහතා කියාසිටියේය.

මෙම සංචාරය අතරතුරදී, Han Zheng මහතා, Sebastien Pillay මහතා සමග චීන ආයෝජන යටතේ ඉදි කළ සීෂෙල්ස් ගුවන්විදුලි හා රූපවාහිනී මධ්‍යස්ථාන ව්‍යාපෘතිය නැරඹීමට එක්වූහ. පසුගිය වසරේ ඉදි කිරීම් අවසන් කළ මෙම ව්‍යාපෘතිය ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ නවමු ජයග්‍රහණයක් සනිටුහන් කරයි.