22 වැනි චීන-ආසියාන් ප්‍රදර්ශනයෙන් නව ආයෝජන අවස්ථා‍ රැසක්

22 වැනි චීන-ආසියාන් සංගම් ප්‍රදර්ශනය සහ චීන-ආසියාන් සංගම් ව්‍යාපාර හා ආයෝජන සමුළුව සඳහා වන අවසන් මාධ්‍ය හමුව ඊයේ (21) පැවැත්විණ. සංඛ්‍යාලේඛනවලට අනුව පසුගිය 20 වැනිදා වන විට මෙම ප්‍රදර්ශනයෙන් ලැබී ඇති ආයෝජන අවස්ථා සංඛ්‍යාව 700 ඉක්මවා ඇත. ඒ අතරින් ආර්ථික හා වෙළඳ ව්‍යාපෘති 500කට අධික සංඛ්‍යාවක් සඳහා ගිවිසුම් ගත වීම ද සිදුව තිබේ.

වර්ග මීටර් 160,000 කින් සමන්විත වූ මෙවර ප්‍රදර්ශන භූමිය තුළ රටවල් 60 ක සමාගම් 3,260 ක සහභාගීත්වය පෙන්නුම් තර ඇත. චීන-ආසියාන් සංගම් ප්‍රදර්ශනයේ ලේකම් කාර්යාලය මේ බව තහවුරු කළේය.

මෙවර ප්‍රදර්ශනයේ අධි තාක්ෂණික මෙවලම් හා බැඳුණු ප්‍රදර්ශන කුටි අනුපාතය සැලකිය යුතු ලෙස වැඩි වී තිබේ. එහිදී කෘත්‍රිම බුද්ධි තාක්ෂණය හා සම්බන්ධ ප්‍රදර්ශන කුටි, සමස්ත ප්‍රදර්ශන කුටි අතරින් 50% කට වඩා වැඩි ප්‍රමාණයක් නියෝජනය කර තිබිණ.

චීන-ආසියාන් සංගම් ව්‍යාපාර සහ ආයෝජන සමුළුවෙහි සමස්ත ක්‍රියාවලියම බලගැන්වීම සඳහා කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිතා කළ පළමු අවස්ථාව ද මෙයයි. මේ අතර මෙහි කෘත්‍රිම බුද්ධි වේදිකාව මගින් 500 ඉක්ම වූ සමාගම් එකිනෙක සම්බන්ධ කරමින්, ඔවුන්ට අවශ්‍ය ව්‍යාපාරික ගිවිසුම් පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථා 5300කට වැඩි සංඛ්‍යාවක් සකසා දී තිබේ.

මීළඟ 23 වැනි චීන-ආසියාන් සංගම් ප්‍රදර්ශනය, 2026 වසරේ සැප්තැම්බර් මාසයේ 17 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බව දැනට වාර්තා වේ.