කෘත්‍රිම බුද්ධි තාක්ෂණය අසීමිත ලෙස භාවිතය සඳහා හමුදා නිලධාරීන්ට ඉඩ ලබා දීම සෙසු රාජ්‍යන්හි ස්වෛරීභාවය උල්ලංඝනය කිරීම සඳහා වන මෙවලමක් බවත්, යුදමය කටයුතු තුළ ගන්නා වූ තීරණ සඳහා අධික ලෙස බලපෑම් කිරීමට කෘත්‍රිම බුද්ධියට ඉඩ දීම මෙන්ම ජීවිතය සහ මරණය පිළිබඳ තීරණය කිරීමට ඇල්ගොරිතම වෙත බලය ලබා දීම වැනි දෑ, යුදමය පරිසරයක සදාචාරාත්මක සීමා කිරීම් සහ වගවීම බැහැර කර දමන්නක් බවත් චීනය අවධාරණය කරයි.
චීන ජාතික ආරක්ෂක අමාත්‍යාංශයේ අද (11) සවස පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමින්, එහි උප ප්‍රධානී සහ අමාත්‍යාංශයේ ප්රවෘත්ති ප්‍රකාශක Jiang Bin මහතා මේ අදහස් පළ කළේය.
මෙහිදී අදාළ මාධ්‍යවේදියා විමසා සිටියේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය අසීමිත ලෙස භාවිත කිරීමට හමුදා අංශ වෙත ඉඩ ලබා දෙන ලෙස ඇමරිකානු යුද දෙපාර්තමේන්තුව එරට තාක්ෂණික සමාගම්වලින් ඉල්ලා සිටීමත්, වෙනිසුවෙලාව සහ ඉරානය යන රටවලට එරෙහි හමුදා මෙහෙයුම්වලදී ඇමරිකානු හමුදා කෘත්‍රිම බුද්ධි මෙවලම් බහුලව භාවිතා කර ඇති බැවින්, එය යුද ආචාර ධර්ම සහ තාක්ෂණයේ හමුදාමය භාවිතයන්ට අදාළ සීමා පිළිබඳ බරපතල කනස්සල්ලක් ඇති කිරීමත් තුළ, චීනය කුමන අදහසක් දරන්නේ ද යන්නයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් Jiang Bin මහතා ප්‍රකාශ කළේ, ජනතාව කේන්ද්‍ර කරගත් ප්‍රවේශයක් සහ යහපත සඳහා කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිතයේ මූලධර්මය තහවුරු කරමින්, හමුදාමය කටයුතු සඳහා කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ යෙදීම් භාවිතයේදී මානව ප්‍රමුඛතාවය තහවුරු කළ යුතුය යන්න චීනයේ විශ්වාසය බවයි.
එහිදී අදාළ සියලුම ආයුධ පද්ධති මානව පාලනය යටතේ තැබිය යුතු බවත්, කෘත්‍රිම බුද්ධිය සහ අනෙකුත් නැගී එන තාක්ෂණයන්හි ප්‍රමුඛතාවයෙන් ප්‍රයෝජන ගනිමින් නිරපේක්ෂ මිලිටරි ආධිපත්‍යයක් අනුගමනය කිරීමට හෝ සෙසු රටවල ස්වෛරීභාවය සහ භෞමික ආරක්ෂාව අඩපණ කිරීමට චීනය විරුද්ධ වන බවත් හෙතෙම එහිදී අවධාරණය කර ඇත.