චීනය සහ ඇමරිකාව අතර නව වටයේ ආර්ථික හා වෙළඳ සාකච්ඡා මාර්තු මස 15 සහ 16 යන දෙදින තුළ ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්විණ.
එහිදී චීන සහ ඇමරිකානු කණ්ඩායම් පූර්ණ, අවංක සහ ඵලදායී සාකච්ඡා පැවැත්වූ බව චීන වාණිජ අමාත්‍යාංශයේ ජාත්‍යන්තර වෙළඳ නියෝජිත හා උප අමාත්‍ය Li Chenggang මහතා ප්‍රකාශ කළේය. ඇතැම් කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශ්වය මූලික එකඟතාවකට පැමිණ ඇති බවත්, ඊළඟ පියවර වන්නේ දෙපාර්ශ්වයම උපදේශන ක්‍රියාවලිය අඛණ්ඩව සිදුකරගෙන යාම බවත් ඔහු පැවසීය.
නව තත්ත්වයන් යටතේ ද්විපාර්ශ්වික තීරුබදු මට්ටම්, දෙරට අතර පවතින තීරුබදු සහ තීරුබදු නොවන පියවරයන්ට අදාළ විධිවිධාන දීර්ඝ කිරීමේ හැකියාව, චීනය සහ ඇමරිකාව අතර සාකච්ඡාවේ මාතෘකා වූ බව Li Chenggang මහතා සඳහන් කළේය. එමෙන්ම ද්විපාර්ශ්වික ආර්ථික හා වෙළඳ සබඳතාවන්හි ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා එක්ව කටයුතු කිරීමට දෙපාර්ශ්වයම එකඟ වූ බවත්, ද්විපාර්ශ්වික වෙළඳ හා ආයෝජන සහයෝගීතාව ප්‍රවර්ධනය සඳහා ක්‍රියාකාරී යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ අදහස එහිදී සාකච්ඡා කළ බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.