චීන-බ්‍රිතාන්‍ය සබඳතාවන්හි ස්ථාවර හා ඉදිරි සංවර්ධනය ප්‍රවර්ධනය සඳහා දෙරටේ අවධානය

චීනයේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වන වැන්ග් යී මහතා, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ ජාතික ආරක්ෂක උපදේශක ජොනතන් පවෙල් මහතා හමු වෙයි. ඊයේ (23) බෙයිජිංහි සිදු වූ මෙම හමුවේදී ඉරානයේ තත්ත්වය, යුක්රේන අර්බුදය සහ තවත් කරුණු පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමට දෙපාර්ශ්වය පියවර ගෙන තිබිණ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජිකයෙකු සහ විදේශ කටයුතු පිළිබඳ මධ්‍යම කොමිසමේ කාර්යාලයේ අධ්‍යක්ෂවරයෙකු ද වන වැන්ග් යී මහතා මෙහිදී ඉරානයේ වත්මන් තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් චීනය එම ගැටලුව සම්බන්ධයෙන් දරන අපක්ෂපාතී ස්ථාවරය පැහැදිලි කළේය.

එමෙන්ම ඉරාන අර්බුදයෙන් ඇති විය හැකි බලපෑම් මේ වනවිට පුළුල් වී ඇති බවත්, දීර්ඝ කාලීන යුද්ධය තවත් හානිදායක වනු ඇති සේම බරපතල ප්‍රතිවිපාක ද ගෙන එනු ඇති බවත් සඳහන් කළේය. එබැවින් තත්ත්වය තවත් දුරදිග යාමට ඉඩ නොදී අර්බුදයට හේතු වූ මූල බීජය පිළිබඳ අවධානය යොමු කර, ඒකාබද්ධ සාකච්ඡා හරහා ගැටලුව දේශපාලන විසඳුමකට ගෙන ඒමට සියලුම පාර්ශවයන් ක්‍රියා කළ යුතු බව හෙතෙම මෙහිදී පෙන්වා දී ඇත.

මේ අතර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Keir Starmer මහතා පසුගිය ජනවාරි මාසයේදී සිදු කළ ඓතිහාසික සාර්ථක චීන සංචාරය දෙරටේ මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවගේ ද ධනාත්මක පිළිගැනීමට ලක් වූ බව චීන විදේශ අමාත්‍යවරයා මෙහිදී පැවසීය. එමෙන්ම චීනය සහ බ්‍රිතාන්‍යය අතර දිගුකාලීන, ස්ථාවර පුළුල් උපායමාර්ගික හවුල්කාරිත්වයක් වර්ධනය කිරීම දෙරට ජනතා අභිලාෂයන් සමඟ සමපාත වන බව සඳහන් කළ වැන්ග් යී මහතා අවධාරණය කර සිටියේ, දෙපාර්ශ්වයම ඵලදායී සන්නිවේදනයක නිරත වන තාක්, අන්‍යෝන්‍ය වශයෙන් ජයග්‍රාහී ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා වන අභියෝග සහ ගැටලු නිසි ලෙස ආමන්ත්‍රණය කළ හැකි බවයි.

එබැවින් දෙපාර්ශ්වයම දෙරටේ නායකයින් ඇති කරගත් එකඟතාවය ක්‍රියාත්මක  කළ යුතු බවත්, විවිධ ක්ෂේත්‍රයන්හි සහයෝගීතා ගැඹුරු කරමින්, වෙනස්කම් ඵලදායී ලෙස කළමනාකරණය කරමින්, චීන-බ්‍රිතාන්‍ය සබඳතාවන්හි ස්ථාවර හා ඉදිරි සංවර්ධනය ප්‍රවර්ධනය කළ යුතු බවත් චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා මෙහිදී පැවසීය.

මෙහිදී අදහස් දක්වමින් පවෙල් මහතා සඳහන් කළේ, අග්‍රාමාත්‍ය Keir Starmer මහතාගේ චීන සංචාරයේ ප්‍රතිඵල ක්‍රියාත්මක කිරීම, සන්නිවේදනය සහ සහයෝගීතාව වැඩි දියුණු කිරීම සහ දිගුකාලීන හා ස්ථාවර පුළුල් උපායමාර්ගික හවුල්කාරිත්වයක් ඒකාබද්ධව වර්ධනය කිරීම යනාදිය සඳහා බ්‍රිතාන්‍ය පාර්ශ්වය චීනය සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බවයි.