චීනයේ විදේශ විනිමය සංචිතය බාහිර බලපෑම්වලට ඔරොත්තු දිය හැකි මට්ටමක පවතින බවට අනාවරණයක්

පසුගිය මාර්තු මාසය අග වන විට චීනයේ විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 3.34 ඉක්මවා ඇති බව චීන ජාතික විදේශ විනිමය පරිපාලනය පවසයි. මෙය පෙබරවාරි මාසය අවසානයේ පැවති අගයට සාපේක්ෂව ඇමරිකානු ඩොලර් බිලියන 85.7ක අඩු වීමක් පෙන්නුම් කළ ද, එම අගය පහළ යාමේ අනුපාතය 2.5%කි. එම පරිපාලනය ඊයේ(07) නිකුත් කළ දත්තවලින් ‍මේ බව අනාවරණය විය.

මාර්තු මාසය තුළ, ගෝලීය සාර්ව ආර්ථික පරිසරය, ප්‍රධාන ආර්ථික ඒකකයන්හි මුදල් ප්‍රතිපත්ති හා අපේක්ෂා ඇතුළු සාධක අනුව, ඇමරිකානු ඩොලර් දර්ශකය ඉහළ ගොස් ඇති අතර, ගෝලීය වශයෙන් ප්‍රධාන මූල්‍ය වත්කම් මිල ද පහත වැටුණි. මෙලෙස විනිමය අනුපාත හා වත්කම් මිල වෙනස්වීම් හේතුවෙන් එම මාසයේ චීනයේ විදේශ විනිමය සංචිතයේ අගය අඩු වීමක් පෙන්නුම් කරන බව ජාතික විදේශ විනිමය පරිපාලනය සඳහන් කර ඇත.

කෙසේවෙතත්, මාර්තු මාසයේ අදාළ දත්ත තුළින් යම් වෙනස්කම් පෙන්නුම් කළ ද චීනයේ විදේශ විනිමය සංචිතය සමස්තයක් වශයෙන් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 3.3ක ස්ථාවර මට්ටමක පවතින අතර, එබැවින් චීනයට බාහිර බලපෑම්වලට ඔරොත්තු දිය හැකි දැවැන්ත ශක්‍යතාවක් හිමි බව චීන ජාතික මූල්‍ය හා සංවර්ධන පර්යේෂණායතනයේ ජ්‍යේෂ්ඨ පර්යේෂකයෙක් ද අවධාරණය කර ඇත.