හෝමූස් සමුද්‍ර සන්ධිය පිළිබඳ චීනය හා රුසියාවෙන් නව කෙටුම්පත් යෝජනාවක්

චීනය හා රුසියාව ඒකාබද්ධව හෝමූස් සමුද්‍ර සන්ධිය පිළිබඳ නව කෙටුම්පත් යෝජනාවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය‍ට ඉදිරිපත් කරයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(8) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළාය. චීනය හා රුසියාව විසින් ඒකාබද්ධව ඉදිරිපත් කරන ලද එම යෝජනා කෙටුම්පත නිල වශයෙන් ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවලට බෙදා හැර ඇතැයිද ඇය සඳහන් කළාය.

ඊයේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී බහරේන රජය විසින් ඉදිරිපත් කළ හෝමූස් සමුද්‍ර සන්ධිය පිළිබඳ කෙටුම්පත් යෝජනාවට ඡන්ද විමසීමක් සිදු කෙරිණ. එහිදී චීනය සහ රුසියාව ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන් අදාළ කෙටුම්පත් යෝජනාව සම්මත නොවීය. මේ සම්බන්ධයෙන් චීනය හා රුසියාව වත්මන් මැදපෙරදිග තත්ත්වය හා සාගර ආරක්ෂාව කෙරෙහි නව කෙටුම්පත් යෝජනාවක් ඉදිරිපත් කළ බව එක්සත් ජාතීන්ගේ චීනයේ හා රුසියාවේ ස්ථාවර නියෝජිතයෝ ප්‍රකාශ කළහ. 

ඒ පිළිබඳ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් Mao Ning මහත්මිය පැවසුවේ හෝමූස් සමුද්‍ර සන්ධියේ  නාවික ගමනා ගමනයට බාධා එල්ලවීමට  මූලික හේතුවී ඇත්තේ ඇමරිකාව හා ඊශ්‍රායලය ඉරානයට එරෙහිව නීති විරෝධි යුද මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම බවයි. හැකි ඉක්මණින් සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම අදාළ ගැටළු විසඳා ගැනීමේ මූලික පියවරකි. ආරක්ෂක මණ්ඩලයේ ක්‍රියාමාර්ග ගැටුම් අවම කිරීම සහ සමනය කිරීම කෙරෙහි යොමු විය යුතු අතර නීතිවිරෝධී හමුදා ක්‍රියාමාර්ග කිසිවිටෙකත් නීත්‍යනුකූල නොකළ යුතු බව Mao Ning මහත්මිය කියා සිටියාය. ඡන්ද ලබා දීමේදී චීනයේ ස්ථාවරය සාධාරණ මෙන්ම යුක්ති සහගත වූ අතර එය ඓතිහාසික නිරීක්ෂණයට ලක්විය හැකි බව ඇය අවධාරණය කළාය.  

චීනය හා රුසියාව විසින් ඒකාබද්ධව ඉදිරිපත් කරනු ලබන නව කෙටුම්පත් යෝජනාව ගැටුම්කාරී තත්ත්වය ලිහිල් කිරීම, සංවාද හා සාකච්ඡා පැවැත්වීම මෙන්ම නාවික ගමන් පිළිබඳ අයිතිවාසිකම් හා නිදහස සහතික කිරීම යන කරුණු වලට කැපවී ජගත් ප්‍රජාවේ පොදු අපේක්ෂාවට අනුකූල වන බවත් එය සාධාරණ මෙන්ම යුක්ති සහගත වන බවත් ඇය සඳහන් කළාය. තත්ත්වය හැකි ඉක්මණින් ලිහිල් කර හෝමූස් සමුද්‍ර සන්ධිය හා මැදපෙරදිග ප්‍රදේශයේ සාමය හා ස්ථාවරත්වය වෙනුවෙන් චීනය අදාළ පාර්ශ්වයන් සමග එක්ව අඛණ්ඩව කටයුතු කරනු ඇතැයිද Mao Ning මහත්මිය ප්‍රකාශ කළාය.