Lai Ching-te සඳහා පිටවීමේ ගුවන් ගමන් තහනම් කිරීමට සීෂෙල්ස් ගත් පියවර චීනයේ ඇගයීමට

චීන-තායිවාන ප්‍රදේශයේ බෙදුම්වාදී බලවේගයන්හි නියෝජිතයකු වන Lai Ching-te  සඳහා පිටවීමේ ගුවන් ගමන් බලපත්‍ර නීත්‍යනුකූලව සහ විවෘතව අවලංගු කිරීම සඳහා සීෂෙල්ස් රාජ්‍යය ගත් පියවර චීනය සහ මිත්‍රශීලී රටවල් බෙහෙවින් අගය කරන බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා පවසයි.

සීෂෙල්ස් රාජ්‍යයේ විදේශ කටයුතු සහ ඩයස්පෝරා අමාත්‍ය Barry Faure මහතා සමඟ ඊයේ (18) බෙයිජිංහිදී සාකච්ඡාවකට එක් වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මෙම වසර චීන-සීෂෙල්ස් රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්හි 50 වන සංවත්සරය සනිටුහන් කරන බවත්, ද්විපාර්ශ්වික සබඳතා ඉහළ තලයක් වෙත රැගෙන යාම සඳහා ඩිජිටල් ආර්ථිකය, සමුද්‍රීය ආර්ථිකය, දූපත් ආර්ථිකය, හරිත ආර්ථිකය සහ සෙසු ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සහයෝගීතාව ඒකාබද්ධව ප්‍රවර්ධනය සඳහා චීනය සූදානම් බවත්ය.

එමෙන්ම අප්‍රිකානු රටවල් වෙත වැඩි සංවර්ධන අවස්ථා ලබා දෙමින් චීනය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වන අප්‍රිකානු රටවල් 53 සඳහා තම ශුන්‍ය තීරුබදු ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට චීනය සතු කැමැත්ත ද වැන්ග් යී මහතා මෙහිදී යළි අවධාරණය කළේය.

Barry Faure මහතා සිය අදහස් දක්වමින්, එකම චීනය ප්‍රතිපත්තිය සඳහා සීෂෙල්ස් රාජ්‍යයේ කැපවීම නැවත තහවුරු කළේය.

තවද, චීනය විසින් යෝජනා කරන ලද ගෝලීය මුලපිරීම් හතර වෙනුවෙන් තම රට සහාය දක්වන බවත්, ද්විපාර්ශ්වික සබඳතාවන්හි 50 වන සංවත්සරය, චීනය සමඟ සමීප ඉහළ මට්ටමේ හුවමාරු පවත්වා ගැනීමටත්, ප්‍රායෝගික සහයෝගීතාව ගැඹුරු කිරීමට සහ ජනතාව අතර හුවමාරු වැඩි දියුණු කිරීමට අවස්ථාවක් ලෙස ගැනීමටත් කැමැත්තෙන් සිටින බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.