වඩාත් සුපරීක්ෂාකාරීව ඵලදායී ලෙස කටයුතු කිරීමෙන් සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව සහතික කරන්නැයි චීනයෙන් ඉල්ලීමක්

ගැටුම්වල දී සාමාන්‍ය ජනතාව ආරක්ෂා කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ(20) විවෘත විවාදයක් පැවැත්විය. සියයකට වැඩි රටවල් හා ජාත්‍යන්තර සංවිධාන නියෝජනය කරන පිරිසක් ඊට එක්ව සිටියහ.

එක්සත් ජාතීන්ගේ චීනයේ නිත්‍ය නියෝජිත Fu Cong මහතා එහිදී පෙන්වා දුන්නේ පසුගිය වසරේ ලොව පුරා හට ගෙන ඇති 20කට වැඩි ගැටුම්වලින් තිස්හත්දහසකට වැඩි සාමාන්‍ය ජනතාව මිය ගිය අතර, කෝටි දහයකට වැඩි පිරිසක් ද අවතැන්ව සිටින බවය. එබැවින් වඩාත් සුපරීක්ෂාකාරීව ඵලදායී ලෙස කටයුතු කිරීමෙන් සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව සහතික කළ යුතු බව ඔහු පැවසීය.

මේ සඳහා දේශපාලනික ක්‍රමවේදයෙන් ගැටුම් නිරාකරණය කරමින් ප්‍රචණ්ඩකාරී තර්ජන තුරන් කළ යුතු බව Fu Cong මහතා එහිදී ප්‍රකාශ කළේය. ජාත්‍යන්තර නීති-රීති පිළිපදිමින් විද්‍යා හා තාක්ෂණ භාවිතයන් ද නිසියාකාරයෙන් යොදා ගෙන සාමාන්‍ය ජනතාවගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීමට සහාය විය යුතු බව ඔහු අවධාරණය කළේය. එමෙන්ම, ගැටුම්වලට ගොදුරු ව සිටින රටවල් සිය සංවර්ධනය මගින් සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂක තත්ත්වය ඉහළ නැංවිය යුතු බව පැවසූ Fu Cong මහතා, ජගත් ප්‍රජාව සමග එක්ව සුරක්ෂිත, කල් පවතින සාමකාමී ලෝකයක් ගොඩනැංවීම සඳහා සහාය වීමට චීනය සූදානම් බව ද කියා සිටියේය.