චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා ඊයේ (27) බෙයිජිං හි මහජන මහා ශාලාවේදී ප්‍රංශ විදේශ අමාත්‍ය Jean-Noel Barrot මහතා හමුවිය.
මෑත වසරවලදී චීන-ප්‍රංශ සබඳතා ස්ථාවර හා ධනාත්මක සංවර්ධනයක යහපත් ගම්‍යතාවක් පෙන්නුම් කර ඇති බව Li Qiang මහතා පැවසීය. එමෙන්ම දෙරටේ රාජ්‍ය නායකයින්ගේ උපායමාර්ගික මගපෙන්වීම අනුගමනය කරමින් ඉහළ පෙළේ නිලධාරීන් අතර සමීප සබඳතා පවත්වා ගැනීමට ප්‍රංශය සමඟ කටයුතු කිරීම සඳහා චීනය කැමැත්තෙන් සිටින බව ද ඔහු මෙහිදී පැවසීය. තවද ප්‍රංශය සමඟ විවිධ ක්ෂේත්රයන් හි අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතා පුළුල් කිරීමටත්, දේශගුණික විපර්යාස සඳහා මුහුණ දීම වැනි බහුපාර්ශ්වික සහයෝගීතා ශක්තිමත් කිරීමටත් චීනය කැමැත්තෙන් සිටින බවත්, එමඟින් දෙරටට මෙන්ම ලෝකවාසීන්ට ද වඩා යහපත් ප්රතිලාභ සැලසෙන බවත් ඔහු පැවසීය.
මෙම වසර චීනය සහ යුරෝපා සංගමය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 50 වන සංවත්සරය සනිටුහන් කරයි. මෙය අවස්ථාවක් කර ගනිමින් යුරෝපා සංගමය සමඟ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව Li Qiang මහතා පෙන්වා දුන්නේය. මේ සම්බන්ධයෙන් ප්‍රංශය ක්‍රියාකාරී කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද ඔහු පැවසීය.
චීනය සමඟ ඇති සබඳතා වෙනුවෙන් ප්‍රංශය විශාල වැදගත්කමක් ලබා දෙන බවත්, දෙරටේ රාජ්‍ය නායකයින් ඇති කරගත් වැදගත් එකඟතා ක්‍රියාත්මක කිරීම සඳහා චීනය සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බවත් Jean-Noel Barrot මහතා මෙහිදී පැවසීය. ආර්ථිකය,වෙළඳාම වැනි ක්ෂේත්රවල සංවාද සහ සහයෝගීතා ශක්තිමත් කිරීම සඳහා ප්‍රංශය සැමවිටම යුරෝපා සංගමයට සහ චීනයට සහාය වී ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.