ඇමරිකාව චීනයට අසාමාන්‍ය ඉහළ තීරුබදු යළි යළිත් පැනවීම අංක ගණිතමය ක්‍රීඩාවක් බවට පත් කර ගෙන ඇත–චීන විදේශ අමාත්‍යංශය


ඇමරිකාව චීනයට පැනවූ තීරුබදු ප්‍රතිශතය 245%ක් දක්වා ඉහළ නැංවීම පිළිබඳව චීනය ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඇමරිකාවේ තීරුබදු ප්‍රතිපත්තියට එරෙහිව චීනය ප්‍රතිචාර දැක්වීම හේතුවෙන්, චීනයට මේ වනවිට 245%ක තීරුබදු අනුපාතයකට මුහුණ දීමට සිදු වන බව ධවල මන්දිර වෙබ් අඩවි වාර්තාවක් සඳහන් කළේ පසුගිය 15 වනදායි.

ඊට ප්‍රතිචාර දක්වමින්, අද(17) චීන විදේශ අමාත්‍යංශය පැවසුවේ, ඇමරිකාව චීනයට අසාමාන්‍ය ඉහළ තීරුබදු යළි යළිත් පැනවීම මේ වනවිට අංක ගණිතමය ක්‍රීඩාවක් බවට පත්ව ඇති බවයි.

එයට කිසිදු ප්‍රායෝගික ආර්ථික තේරුමක් නොමැති බව චීනය මීට පෙර ද අවධාරණය කළ බවයි ඔහු පවසන්නේ.

ඇමරිකාව බලහත්කාරයෙන් චීනයට හිරිහැර කිරීම සඳහා සිය තීරුබදු ප්‍රතිපත්තිය ආයුධයක් ලෙස භාවිත කරන බව මෙමගින් තවදුරටත් පිළිබිඹු වී ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

ඇමරිකාව චීනයේ අයිතිවාසිකම් සහ අවශ්‍යතා සැලකිය යුතු ලෙස උල්ලංඝනය කිරීම අඛණ්ඩව සිදු කළහොත්, චීනය ද අවසානය දක්වා දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරනු ඇති බව චීන විදේශ අමාත්‍යංශය අවධාරණය කර සිටිනවා.