තිරසර සංවර්ධනය සාක්ෂාත් කර ගැනීමට සියලු පාර්ශ්වයන් සිය වගකීම් හා යුතුකම් පොදුවේ පවරා ගැනීමේ අවශ්‍යතාව චීනය අවධාරණය කරයි

සමුද්‍රීය කටයුතු ඇතුළු විවිධ ක්ෂේත්‍රයන් හි තිරසර සංවර්ධනය සාක්ෂාත් කර ගැනීමට වගකීම් හා යුතුකම් පොදුවේ පවරා ගන්නැයි චීනය විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලයි.

චීන උප ජනාධිපති Han Zheng මහතා මේ බව පැවසුවේ ආරාධනාවකට අනුව ඉකුත් 8-9 යන දෙදින ප්‍රංශයේ පැවති එක්සත් ජාතීන්ගේ තුන් වැනි සාගර සමුළුවට එක්වෙමිනි.

එහිදී Han Zheng මහතා පැවසුවේ විවිධ පාර්ශ්වයන් එක්ව සාමකාමී හා සුරක්ෂිත සමුද්‍රීය කලාපයක් පොදුවේ ගොඩනැංවිය යුතු බවත් ජාත්‍යන්තර සමුද්‍රීය නීති-රීති පොදුවේ අනුගමනය කළ යුතු බවත් ය. ප්‍රතිලාභ බෙදා ගත හැකි සමෘද්ධිමත් සමුද්‍රීය කලාපයක් ගොඩනැංවිය යුතු අතර, කුඩා දූපත් රටවල් ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල තිරසර සංවර්ධන අරමුණු ඉටු කිරීමට චීනය සහය දක්වායි. එසේ ම, සාගර පද්ධතීන් හි විවිධත්වයට ගරු කරමින් සාධාරණ, යුක්ති සහගත, විවෘත හා සහභාගීත්වයෙන් යුතු සාගර පද්ධතියක් ගොඩනැංවිය යුතු බව ද චීන උප ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

එම සමුළුව අතරතුර, හෙතෙම ප්‍රංශ ජනාධිපති Emmanuel Macron, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් António Guterres යන මහත්වරුන් ද හමුවිය.

චීන-ප්‍රංශ ජනාධිපතිවරුන් පසුගිය මස දුරකථන සංවාදයේ දී එළඹි එකඟතාවන් අනුව යමින් තමා මෙම සමුළුවට සහභාගී වීමට ප්‍රංශය පැමිණ සිටින බව Han Zheng මහතා Emmanuel Macron මහතා හමුවූ අවස්ථාවේ දී පැවසීය. උපායමාර්ගික ස්වාධීනත්වයේ රැඳී සිටින ප්‍රංශයට සහාය දක්වන චීනය, ප්‍රංශය සමග එක්ව ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික සාකච්ඡා හා සහයෝගිතා තහවුරු කිරීමට සූදානම් බව චීන උප ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

චීනය, සිය දිගුකාලීන හා විශ්වාසවන්ත හවුල්කරුවෙකු ලෙස ප්‍රංශය සලකන බව Emmanuel Macron මහතා පැවසීය. වත්මන් ජාත්‍යන්තර තත්ත්වය යටතේ දෙරට ඉහළ පෙළේ නිලධාරීන් අතර සම්බන්ධතා සහ සහයෝගිතා පැවැත්වීම තහවුරු කිරීම, ලෝක සාමය හා ආරක්ෂාව සුරැකීමට අතිශය වැදගත් බව ද ප්‍රංශ ජනාධිපතිවරයා එම හමුවේදී පැවසීය.

António Guterres මහතා හමුවූ අවස්ථවේදී, Han Zheng මහතා පැවසුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය කලක සිට එකම චීනය යන මූලධර්මයට අනුගත වීම පිළිබඳව චීනය ප්‍රශංසා පළ කරන බවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ස්ථාපිත කිරීමේ 80 වැනි සංවත්සරය මෙම වසරේ යෙදීම අවස්ථාවක් කර ගනිමින් එම සංවිධානය සමග එක්ව තවදුරටත් සහයෝගිතා තහවුරු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද Han Zheng මහතා කියා සිටියේය.‍

දිගු කාලයක් තිස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙහෙයුම්වලට සහාය දැක්වීම පිළිබඳව එහි මහ ලේකම්වරයා චීනය වෙත ස්තුතිය පළ කළේය. එමෙන්ම චීනය, බහුපාර්ශ්වවාදය සුරැකීමේ ප්‍රධාන බලවේගයක් හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වැදගත් හවුල්කරුවෙකු බවත් António Guterres මහතා එහිදී සඳහන් කර තිබේ.