චින අග්‍රාමාත්‍ය Li Qiang මහතා, චීනයේ නිල සංචාරයක නිරත වූ නවසීලන්ත අග්‍රාමාත්‍ය Christopher Luxon මහතා සමඟ සාකච්ඡා පැවැත්වීය. එම සාකච්ඡාව ඊයේ (20) පස්වරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේදී සිදු විය.
සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යාමට, ප්‍රායෝගික සහයෝගීතාව පුළුල් කිරීමට සහ දෙරටේ පොදු සංවර්ධනය වඩා හොඳින් ප්‍රවර්ධනය කිරීමට චීනය නවසීලන්තය සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව Li Qiang මහතා එහිදී පැවසීය. නව බලශක්ති වාහන, හරිත හා අඩු කාබන් කර්මාන්තය සහ ඩිජිටල් නිෂ්පාදන හා සේවා වැනි නැගී එන ක්ෂේත්‍රයන් හි චීනය සහ නවසීලන්තය සහයෝගීතා පුළුල් කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේය. කැළඹිලි සහිත ලෝකයකට වැඩි ස්ථාවරත්වයක් සහ නිශ්චිතභාවයක් එක් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය,ලෝක වෙළඳ සංවිධානය සහ අනෙකුත් සංවිධානයන් හි ක්‍රමවේදය තුළ නවසීලන්තය සමඟ සන්නිවේදනය සහ සහයෝගීතාව ශක්තිමත් කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ඔහු සඳහන් කළේය.
නවසීලන්තය එකම චීනය යන ප්‍රතිපත්තියට අනුගත වන බව Luxon මහතා පැවසීය. චීනය සමඟ ඉහළ මට්ටමේ හුවමාරු පවත්වා ගැනීමටත්, ආර්ථිකය, වෙළඳාම, කෘෂිකර්මාන්තය, සංචාරක යනාදී ක්ෂේත්‍රවල හුවමාරු සහ සහයෝගීතාව ගැඹුරු කිරීමටත්, පොදු සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමටත් නවසීලන්තය කැමැත්තෙන් සිටින බව ඔහු පැවසීය.
සාකච්ඡාවලින් අනතුරුව, රේගු, ආහාර සුරක්ෂිතතාව, දේශගුණික විපර්යාස සහ අනෙකුත් කරුණු සම්බන්ධයෙන් සහයෝගිතා ලේඛන රැසකට අත්සන් තැබීම ද අග්‍රාමාත්‍යවරුන් දෙදෙනා ඉදිරියේ සිදු විය. එමෙන්ම, දෙපාර්ශ්වය එක්ව “චීන-නවසීලන්ත නායක සමුළුවේ ඒකාබද්ධ ප්‍රතිඵල ප්‍රකාශය” නිකුත් කළහ.