චීන – යුරෝපීය භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ගමන් වාර සංඛ්‍යාව දහස ඉක්මවයි

චීනයත් යුරෝපයත් අතර සම්පූර්ණ කාලසටහන් සහිත භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ගමන් වාර සංඛ්‍යාව දහස ඉක්මවයි.

වයඹදිග චීනයේ Shaanxi පළාතේ Xi’an නගරයෙන් ජර්මනියේ Duisburg බලා ඊයේ (21) දින පිටත් වූ ස්වයංක්‍රීය උපාංග, LED තිර ඇතුළු භාණ්ඩ රැගත් භාණ්ඩ ප්‍රවාහන දුම්රිය මෙම සන්ධිස්ථානය සනිටුහන් කළේය.

ඒ අනුව සම්පූර්ණ කාලසටහන් මත ක්‍රියාත්මක වන චීන-යුරෝපීය භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සංඛ්‍යාව මේ වනවිට 1,000 ඉක්මවා ඇති බැවින් එය සැලකිය යුතු සන්ධිස්ථානයක් බව චීන බලධාරීන් පවසයි.

2022 වසරේ ඔක්තෝබර් මාසයේ දී ප්‍රථම වරට දියත් කරන ලද සම්පූර්ණ කාලසටහන් සේවාව ඔස්සේ, අදාළ රටවල් හරහා නම් කරන ලද දුම්රිය අංක, මාර්ග, පිටත්වීමේ වේලාවන් සහ පැමිණීමේ වේලාවන් ඇතුළුව පෙර සූදානම් කළ කාලසටහන්වලට අනුව චීන-යුරෝපීය භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ධාවනය කිරීමට අවස්ථාව සලසා දී ඇත.

යුරෝපය සහ ආසියාව අතර වෙළඳාම හා සම්බන්ධතාවය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, එක් තීරයක් එක් මාවතක් මුලපිරීම හරහා දියත් කෙරුණු ඉතා වැදගත් අවස්ථාවක් ලෙස මෙම චීන-යුරෝපීය භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සේවාව සැලකේ.

වර්තමානය වනවිට චීනයේ නගර 128 ක් චීන-යුරෝපීය භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සේවාවන් දියත් කර ඇති අතර, ඒ ඔස්සේ යුරෝපීය රටවල් 26 ක නගර 229 ක් සහ ආසියානු රටවල් 11 ක නගර 100 කට වැඩි සංඛ්‍යාවක් කරා සේවාවන් ලබා දීම සිදු කෙරේ.