චීනයේ ඉදිරි ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජ්‍යෙෂ්ඨ දේශපාලන උපදේශකයින් අතර හමුවක්

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ(CPPCC) 14 වැනි ජාතික කමිටුවේ 12වන සැසිවාරය බෙයිජිංහිදී ඊයේ (23) ආරම්භ විය. ඒ “ආර්ථික ප්‍රතිසංස්කරණ පුළුල් කිරීම” පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණිනි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යංශයේ ස්ථාවර කමිටුවේ සාමාජික සහ චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුවේ සභාපති Wang Huning මහතාගේ ප්‍රධානත්වයෙන් එහි සමාරම්භක සමුළුව පැවැත්විණ. එමෙන්ම එහිදී චීන කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යංශයේ සාමාජික සහ උප අගමැති He Lifeng මහතා එම සමුළුවට සහභාගී වෙමින් වාර්තාවක් ඉදිරිපත් කළේ ය. එහිදී හෙතෙම අවධාරණය කළේ චීන මාදිලියේ නවීකරණය ඉදිරියට ගෙන යාමට නම් ආර්ථික ප්‍රතිසංස්කරණ පුළුල් කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් පූර්ණ අවබෝධයක් තිබිය යුතු බවයි.

උසස් ප්‍රමිතිගත සමාජවාදී වෙළඳපොළ ආර්ථිකය, උසස් ගුණාත්මක ආර්ථික වර්ධනය, සාර්ව ආර්ථික පාලනය, උසස් මට්ටමේ විවෘත කිරීමේ ප්‍රතිපත්ති සහ පාරිසරික ප්‍රගතිය සම්බන්ධ ක්‍රියාමාර්ග පිළිබඳ වැදගත් කරුණු ඉලක්ක කර ගනිමින් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදු කළ යුතු ආකාරය පිළිබඳව ද හෙතෙම එහිදී අවධාරණය කර ඇත.