චීනය සහ ආසියාන් සංගමයට අයත් රටවල් 10 නියෝජනය කරනු ලබන විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුව ඊයේ (10) මැලේසියාවේ ක්වාලාලම්පූර් හිදී පැවැත්විණ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, චීන විදේශ අමාත්‍ය වං යී මහතා සහ මෙවර චීන-ආසියාන් සබඳතා සම්බන්ධීකරණ රට වන මැලේසියාවේ නියෝජිතයා සම-මූලිකත්වය දැරීය. ආසියාන් සංගමයට අයත් රටවල විදේශ අමාත්‍යවරු, ආසියාන් නිරීක්ෂකයෝ සහ ආසියාන් මහලේකම්වරයා ද ඊට එක් වූහ.

එහිදී වං යී මහතා චීන-ආසියාන් සහයෝගීතාවයේ ජයග්‍රහණ හඳුන්වා දී, යෝජනා හතරක් ඉදිරිපත් කළේ ය. ඉන් පළමුවැන්න ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය ආරක්ෂා කිරීමේදී ආදර්ශයක් ලෙස කටයුතු කළ යුතු ය යන්නයි. දෙවැන්න ලෙස කලාපීය සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා ආදර්ශයක් ලෙස කටයුතු කළ යුතු ය. එමෙන්ම අන්‍යෝන්‍ය යහපත් සහයෝගීතාවය සඳහා ආදර්ශයක් ලෙස කටයුතු කළ යුතු බවත් අන්‍යෝන්‍ය ඉගෙනීම ප්‍රවර්ධනය කිරීම සඳහා ආදර්ශයක් ලෙස ක්‍රියා කළ යුතු බවත් යන්න සෙසු යෝජනා ලෙස, චීන විදේශ අමාත්‍යවරයා එහිදී ඉදිරිපත් කළේ ය.
චීන-ආසියාන් පුළුල් උපායමාර්ගික හවුල්කාරිත්වය සියලු පාර්ශ්වයෝ මෙහිදී ධනාත්මකව ඇගයීමට ලක් කළහ. තවද, “අග්නිදිග ආසියානු න්‍යෂ්ටික අවි-නිදහස් කලාප ගිවිසුම” ට අදාළ විධිමත් නීතිමය පද්ධතිය අත්සන් කිරීමේදී පෙරමුණ ගැනීමට චීනය දක්වන කැමැත්ත ඔවුහු අගය කළහ. බහුපාර්ශ්විකත්වය සහ බහුපාර්ශ්වික වෙළඳ පද්ධතිය ඒකාබද්ධව ආරක්ෂා කිරීමට මෙන්ම, ගෝලීය අභියෝගවලට ඒකාබද්ධව ප්‍රතිචාර දැක්වීමට ද, චීනය සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව සියලු පාර්ශ්වයෝ එහිදී සඳහන් කළහ.
සමුළුව අතරතුර, වං යී මහතා අදාළ රටවල විදේශ අමාත්‍යවරුන් ද හමු විය.
