කොරියානු යුද සමයේදී දිවි පිදූ තවත් චීන මහජන ස්වේච්ඡා හමුදා භටයන් 30 දෙනෙකුගේ දේහ අවශේෂ මව්බිමට

දකුණු කොරියාවේ සිට චීනය වෙත රැගෙන එනු ලැබූ, කොරියානු යුද සමයේදී දිවි පිදූ චීන මහජන ස්වේච්ඡා හමුදා භටයන් අතරින් තවත් 30 දෙනෙකුගේ දේහ අවශේෂ අභිමානවත් ලෙසින් භාර ගැනේ.

චීනයේ Liaoning පළාතේ Shenyang නගරයේ දී අද (12) පෙරවරුවේ ඒ වෙනුවෙන් විශේෂ උත්සවයක් ද පැවැත්විණ. චීන මහජන ස්වේච්ඡා හමුදා භටයන් 30 දෙනෙකුගේ දේහ අවශේෂයන් සහ ඔවුන්ගේ පෞද්ගලික භාණ්ඩ 267ක් චීන මහජන විමුක්ති ගුවන් හමුදාවේ විශේෂ ගුවන් යානයකින් දකුණු කොරියාවේ සිට චීනය වෙත රැගෙන එනු ලැබීය.

පසුගිය 50 දශකය ආරම්භයේ දී ඇමරිකාව, උතුරු කොරියාව ආක්‍රමණය කරමින් යුද්ධයක් දියත් කළේය. උතුරු කොරියාවට සහාය වීම සඳහා 1950 වසරේ ඔක්තෝබර් මාසයේ චීන මහජන ස්වේච්ඡා හමුදාව එම යුද්ධයට සහභාගි වීම ආරම්භ කර තිබිණ. ආක්‍රමණශීලි ඇමරිකානු හමුදා පරාජය කිරීම වෙනු‍වෙන් උතුරු කොරියාව හා චීනය එක්ව දියත් කළ එම සටනේ දී චීන මහජන ස්වේච්ඡා හමුදා භටයෝ දෙලක්ෂයකට ආසන්න පිරිසක් දිවි පිදූහ. 2014 වසරේ සිට ජගත් නීති හා මානුෂවාදී මූලධර්ම මත පදනම් ව චීනය හා දකුණු කො‍රියාව එක්ව එම දිවි පිදූවන්ගේ දේහ අවශේෂයන් යළි චීනය වෙත රැගෙන ඒම සඳහා දායක වී තිබේ. මේ වන විට චීන මහජන ස්වේච්ඡා හමුදා භටයන් 1011 දෙනෙකුගේ දේහ අවශේෂයන් හා ඔවුන්ගේ පෞද්ගලික භාණ්ඩ දකුණු කොරියාවෙන් චීනයට භාර ගෙන ඇත.