ඇමරිකාව සහ රුසියාව න්‍යෂ්ටික නිරායුධකරණය සඳහා විශේෂ සහ මූලික වගකීම ඉටු කළ යුතුයි–චීනය

විශාලතම න්‍යෂ්ටික අවි ගබඩා ඇති රටවල් දෙක වන ඇමරිකාව සහ රුසියාව න්‍යෂ්ටික නිරායුධකරණය සඳහා විශේෂ සහ මූලික වගකීම අවංකව ඉටු කළ යුතු බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා ප්‍රකාශ කරයි.

ඔහු මෙසේ ප්‍රකාශ ක‍ළේ ඊයේ (23) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදීය.

ලබන වසරේ කල් ඉකුත් වූ පසු ‘නව උපායමාර්ගික අවි අඩු කිරීමේ ගිවිසුමේ’ දක්වා ඇති සීමාකාරී විධිවිධාන රුසියාව අඛණ්ඩව අනුගමනය කරන බවත් මෙම රුසියානු පියවර ක්‍රියාත්මක වන්නේ ඇමරිකාව ඒ ආකාරයෙන්ම ප්‍රතිචාර දක්වන්නේ නම් පමණක් බවත් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා පසුගිය 22 වන දා සඳහන් කළ බව වාර්තාකරුවෙක් එහිදී කියා සිටියේය. මේ සම්බන්ධයෙන් චීනයේ අදහස කුමක් දැයි එම වාර්තාකරුවා විමසීය. 

රුසියාවේ ධනාත්මක ආකල්පය චීනය අගය කරන බව Guo Jiakun මහතා ප්‍රකාශ කළේය. ඇමරිකාව හා රුසියාව ‘නව උපායමාර්ගික අවි අඩු කිරීමේ ගිවිසුම’ක්‍රියාත්මක කිරීම නැවත ආරම්භ කළ යුතු ය. එසේම සත්‍යාපනය කළ හැකි, ආපසු හැරවිය නොහැකි සහ නීත්‍යානුකූලව බැඳී ඇති ආකාරයකින් ඔවුන්ගේ න්‍යෂ්ටික අවි ගබඩා තවදුරටත් සැලකිය යුතු ලෙස අඩු කිරීමට පියවර ගත යුතුය. මෙය ජාත්‍යන්තර ප්‍රජාවේ පොදු අපේක්ෂාව බව ද ඔහු ප්‍රකාශ කර ඇත.