ඉතාලියේ මිලානෝහි පැවැත්වෙන 25 වන ශීත ඔලිම්පික් ක්‍රීඩා උළෙල පසුගිය 06 වැනිදා ආරම්භ විය. චීන රාජ්‍ය මණ්ඩල සාමාජිකා Shen Yiqin මහත්මිය එම සමාරම්භක උත්සවයට එක් විය.
සමාරම්භක උත්සවයට පෙර, Shen Yiqin මහත්මිය ඉතාලි ජනාධිපති Sergio Mattarella මහතා සමඟ සුහද කතාබහක නිරත වෙමින්, චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ උණුසුම් සුබ පැතුම් පළ කළා ය. ෂී ජින් පිං මහතා වෙත සිය අවංක සුබ පැතුම් පිරිනමන ලෙස ඉතාලි ජනාධිපතිවරයා, Shen Yiqin මහත්මියගෙන් එහිදී ඉල්ලා සිටි අතර, මෙවර ශීත ඍතු ඔලිම්පික් උළෙල සඳහා චීන රජය දැක්වූ වටිනා සහයෝගයට ද ස්තුතිය පළ කළේ ය.
Shen Yiqin මහත්මිය පසුගිය 07 වැනිදා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපතිනි Kirsty Coventry මහත්මිය හමු විය. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සමඟ ඉහළ මට්ටමේ සහයෝගිතාව තවදුරටත් ගැඹුරු කිරීමෙන් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය සඳහා චීනය කැමැත්තෙන් සිටින බව ඇය එහිදී පැවසුවා ය. ඔලිම්පික් කමිටුවේ කටයුතු සඳහා චීන රජය දක්වන නොසැලෙන සහයෝගය සහ වැදගත් දායකත්වය වෙනුවෙන් Coventry මහත්මිය එහිදී සිය කෘතඥතාව පළ කළා ය. ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ජීව ගුණය ප්‍රගුණ කිරීම සහ ප්‍රවර්ධනය සඳහා චීනය සමඟ සමීප සහයෝගිතාවය අඛණ්ඩව පවත්වාගෙන යාමට ද ඇය බලාපොරොත්තු පළ කළා ය.
ඉතාලියේ කළ සංචාරයේදී, Shen Yiqin මහත්මිය චීන ක්‍රීඩා නියෝජිත පිරිස හමුවෙමින්, චීන ජනාධිපතිවරයාගේ මෙන්ම, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ රාජ්‍ය කවුන්සිලයේ සැලකිල්ල සහ හෘදයාංගම සුබ පැතුම් ඔවුන් වෙත පළ කළා ය. චීනයේ ක්‍රීඩාවේ ජීව ගුණය සහ 2022 බෙයිජිං ශීත ඔලිම්පික් උළෙලේ ජීව ගුණය ඉදිරියට ගෙන යමින්, නව යුගයේ චීන තරුණයින්ගේ ස්වයං විශ්වාසය සහ ධනාත්මක බව ප්‍රදර්ශනය කිරීමට ඇය සියලු දෙනා දිරිමත් කළා ය.