චීන-ජර්මානු-ප්‍රංශ විදේශ අමාත්‍ය හමුවක් මියුනිච්හිදී

චීනය, ජර්මනිය සහ ප්‍රංශය ත්‍රෛපාර්ශ්වික විදේශ අමාත්‍යවරුන්ගේ හමුවක් පවත්වයි. ඒ ඊයේ (13) ජර්මනියේ මියුනිච්හිදීය.

ලෝක සාමය සහ සංවර්ධනය පෙර නොවූ විරූ අභියෝගයන්ට මුහුණ දෙමින් සිටින වර්තමාන‍ය තුළ, චීනයත් ජර්මනිය සහ ප්‍රංශයත් සහයෝගිතාවයෙන් එක්ව ලෝකයට වඩාත් ස්ථාවරත්වයක් සහ නිශ්චිතභාවයක් ලබා දිය යුතු බව චීන විදේශ අමාත්‍ය වං යී මහතා එම හමුවේදී පැවසීය. චීනයේ සංවර්ධනය යුරෝපයට අවස්ථාවක් වන අතර, යුරෝපයට මුහුණ දීමට සිදුව ඇති අභියෝග සඳහා චීනයේ කිසිදු ආකාරයක සම්බන්ධයක් නොමැති බව ද ඔහු එහිදී පෙන්වා දුන්නේය. එමෙන්ම චීනය පිළිබඳ වෛෂයික සහ පුළුල් අවබෝධයක් යුරෝපා සංගමය තුළ ඇති කර ගැනීමටත්, මත භේද නිසි ලෙස හසුරුවා ගනිමින් ප්‍රායෝගික සහයෝගිතා ශක්තිමත් කිරීමටත් ජර්මනිය සහ ප්‍රංශය කටයුතු කරනු ඇතැයි ද වං යී මහතා එහිදී බලාපොරොත්තුව පළ කර ඇත.

එකම චීනය මූලධර්මය ස්ථිරව අනුගමනය කිරීම ජර්මනිය සහ ප්‍රංශය යළි අවධාරණය කරන බව ජර්මන් විදේශ අමාත්‍ය Johann Wadephul මහතා එහිදී පැවසීය. සංවාදයෙන් වෙළඳ ගැටළු විසඳා චීන-යුරෝපා ආර්ථික හා වෙළඳ සබඳතාවේ සමබර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට ජර්මනිය කැමැත්තෙන් සිටින බව ඔහු අවධාරණය කර ඇත.

ස්ථාවර හා ධනාත්මක ලෙසින් චීන-යුරෝපා සබඳතාව පුනර්ජීවනය කිරීමට ප්‍රංශය කැපවී සිටින බවත්, චීනය සමඟ සංවාදය ශක්තිමත් කර බහුපාර්ශ්විකත්වය සහ නිදහස් වෙළඳාම එක්ව ආරක්ෂා කිරීමට ප්‍රංශය අපේක්ෂා කරන බවත් ප්‍රංශ විදේශ අමාත්‍ය Jean-Noël Barrot මහතා එහිදී ප්‍රකාශ කළේය.

මෙම හමුව චීන, ජර්මානු සහ ප්‍රංශ යන පාර්ශ්ව තුනෙහිම ධනාත්මක ප්‍රතිචාරයන්ට ලක්ව ඇති අතර උපාය මාර්ගික සන්නිවේදනය අඛණ්ඩව පවත්වා ගෙන යාමට ද ඔවුන් මෙහිදී එකඟත්වය පළ කර තිබේ.