මැදපෙරදිග ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීමට උත්සාහ කරන්නැයි චීනය යළි ඉල්ලයි

මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය සමනය කරමින් කලාපයේ ස්ථාවරත්වය ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා උත්සාහ කරන්නැයි චීනය අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලයි.

පලස්තීන ගැටලුව ද ඇතුළුව මැදපෙරදිග තත්ත්වය සම්බන්ධයෙන් ආරක්ෂක කවුන්සිලයේ ඊයේ (28) පැවති විවෘත විවාදයකට එක්වෙමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීනයේ නිත්‍ය නියෝජිත Fu Cong මහතා මේ බව අවධාරණය කළේය.

කලක් තිස්සේ උත්සන්න වෙමින් පවතින මැදපෙරදිග තත්ත්වය පුළුල් ප්‍රතිවිපාක ඇති කරමින් කලාපීය ස්ථාවරත්වයට බරපතල ලෙස බාධා කරමින් ගෝලීය ආර්ථිකයට මෙන්ම බලශක්ති ක්ෂේත්‍රයේ ආරක්ෂාවට ද බලපා ඇති බව හෙතෙම එහිදී පැවසීය.

එමෙන්ම වත්මන් තත්ත්වය යුද්ධයේ සිට සාම මාවතකට පරිවර්තනය වීමේ තීරණාත්මක අවධියක පවතින බව පෙන්වා දුන් ඔහු සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේ, උපරිම සංයමයකින් යුතුව අවංකව දේශපාලන විසඳුමක් වෙනුවෙන් පියවර ගන්නා ලෙසයි.

තවද, පලස්තීන ගැටලුව මැදපෙරදිග අර්බුදයේ හදවත බවත් කිසිදු තත්වයක් යටතේ එය ‍පසෙකට නොදැමිය යුතු බවත් Fu Cong මහතා පැවසීය.

ඒ අනුව ගාසා තීරය පුරා පුළුල් හා කල් පවත්නා සටන් විරාමයක් සහතික කිරීම සඳහා සටන් විරාම ගිවිසුමට සම්පූර්ණයෙන්ම අනුකූල වන ලෙස ඔහු ඊශ්‍රායලය ඇතුළු අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේය.

එහිදී ඊශ්‍රායලය මානුෂීය නීතින්ට අදාළ සිය ජාත්‍යන්තර බැඳීම් ඉටු කළ යුතු බවත්, මානුෂීය ප්‍රවේශයට ඇති සියලු බාධක ඉවත් කළ හැකි බවට සහතික විය යුතු බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීනයේ නිත්‍ය නියෝජිතවරයා වැඩිදුරටත් සඳහන් කළේය.