එක්සත් ජාතීන්ගේ 21 වන වෙසක් දින සමුළුව වෙනුවෙන් චීනයෙන් සුබ පැතුම්

නැගෙනහිර චීනයේ ජියැංසු පළාතේ Wuxi නගරයේ ඊයේ (26) ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ 21 වන වෙසක් දින සමුළුව වෙනුවෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන Wang Huning මහතා සුබ පැතුම් එක් කරයි.‍

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජිකයෙකු සහ චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටු සභාපතිවරයා ද වන Wang Huning මහතා ලිපියක් යොමු කරමින් සමුළුවට එක් වූ සැමට එහිදී සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමීය.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු සහ මූලධර්ම මත පදනම් වූ එක්සත් ජාතීන්ගේ කේන්ද්‍රීය ජාත්‍යන්තර පද්ධතිය සහ ජාත්‍යන්තර සබඳතාවන්හි මූලික සම්මතයන් චීන රජය දැඩිව ආරක්ෂා කරන බව ද හෙතෙම එම ලිපියෙන් අවධාරණය කළේය.

ඒ අනුව ස්වාධීනත්වය, සමානාත්මතාවය සහ අන්‍යෝන්‍ය ගෞරවය මත පදනම්ව විවිධ රටවල සහ කලාපයන්හි බෞද්ධ කවයන් සමඟ මිත්‍රශීලී හුවමාරු ශක්තිමත් කිරීම සඳහා චීනය තම බෞද්ධ ප්‍රජාව වෙත අඛණ්ඩව සහාය දෙන බව Wang Huning මහතා පැවසීය.

තවද, ලොව පුරා විසිරී සිටින සමස්ත බෞද්ධ ප්‍රජාව බුදු දහමේ යහපත් සම්ප්‍රදායන් ඉදිරියට ගෙන යනු ඇතැයි ද හෙතෙම විශ්වාසය පළ කර ඇත. එය ලෝක සාමය ආරක්ෂා කිරීමටත්, ජනතාවගේ යහපැවැත්ම ප්‍රවර්ධනයට සහ පොදු අනාගතයක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීමට අවැසි ප්‍රඥාව සහ ශක්තිය ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් Wang Huning මහතා සිය සුබ පැතුම් ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.