ශිෂ්ටාචාර අතර සංවාදය මගින් අවබෝධය වර්ධනය කිරීමේ වැදගත්කම චීන විදේශ අමාත්‍යවරයා අවධාරණය කරයි

සංවාදය තුළින් අන්‍යෝන්‍ය අවබෝධය වැඩිදියුණු කිරීම සහ විශ්වාසය ගොඩනැගීමේ වැදගත්කම චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා, ජාත්‍යන්තර ශිෂ්ටාචාර සංවාද දිනය නිමිත්තෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති උත්සවයකට එක්වෙමින් අවධාරණය කළේය.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජිකයෙකු ද වන ඔහු පෙන්වා දුන්නේ නව අභියෝග රැසකට ලෝකය මුහුණ දෙන අවස්ථාවක, හුවමාරු සහ සංවාද මගින් එකමුතුව හා එකඟතාව ප්‍රවර්ධනය කරමින්, හවුල් අනාගතයක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම සඳහා අවශ්‍ය පදනම තවදුරටත් ශක්තිමත් කළ යුතු බවයි.

ශිෂ්ටාචාර අතර සංවාදය ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය යෝජනා කරන කරුණු හතරකින් සමන්විත ප්‍රවේශය පිළිබඳව ද ඔහු පැහැදිලි කළේය.

එහි පළමු කරුණ ලෙස, ශිෂ්ටාචාර අතර සාමකාමී සහජීවනය ප්‍රවර්ධනය කිරීම සඳහා අන්‍යෝන්‍ය ගෞරව‍යෙන් කටයුතු කළ යුතු බවත්, සමානාත්මතාව, අන්‍යෝන්‍ය අධ්‍යයනය, සංවාදය සහ පුළුල් සහභාගීත්වයෙන් යුත් අන්තර්කරණය යන මූලධර්ම අගය කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.

ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයක් අනුගමනය කරමින් ශිෂ්ටාචාර අතර හුවමාරු සඳහා ශක්තිමත් පදනමක් ගොඩනැගිය යුතු බව දෙවන කරුණ ලෙස, ඔහු පැවසීය. රටවල් අතර ජනතාවගේ අන්‍යෝන්‍ය අවබෝධය හා මිත්‍රත්වය වර්ධනය කිරීමටත්, ශිෂ්ටාචාර අතර අන්‍යෝන්‍ය අධ්‍යයනයෙන් ලැබෙන ප්‍රතිලාභ වඩාත් පුළුල් හා සෘජුව ජනතාව වෙත ළඟා වන ලෙස කටයුතු කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය.

තෙවන කරුණ ලෙස, සාම්ප්‍රදායික සංස්කෘතියේ උරුමය රැකගනිමින් නවෝත්පාදන දිරිගන්වීම තුළින් ශිෂ්ටාචාරය සහ ප්‍රගතිය ශක්තිමත් කළ යුතු බව Wang Yi මහතා ප්‍රකාශ කළේය. සියලු රටවල විශිෂ්ට සාම්ප්‍රදායික සංස්කෘතීන් නිර්මාණශීලී ව පරිවර්තනය කිරීම සහ නව්‍ය ලෙස සංවර්ධනය කිරීම සඳහා චීනය සහය ලබාදෙන බවත් ඔහු මෙහිදී සිහිපත් කර ඇත.

සිව්වන කරුණ ලෙස, ශිෂ්ටාචාර අතර හුවමාරු හා අන්‍යෝන්‍ය අධ්‍යයනය ප්‍රවර්ධනය කරමින්, ඒ සඳහා වන සංවාද යාන්ත්‍රණ තවදුරටත් වැඩිදියුණු කළ යුතු බව ඔහු අවධාරණය කළේය.