චීන උප අග්‍රාමාත්‍යවරයා ඉබෝලා ව්‍යාප්තිය පිළිබඳ ඉහළ පෙළේ රැස්වීමක් අමතයි

ඉබෝලා (Ebola) රෝගයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් අප්‍රිකානු කලාපයේ රාජ්‍ය හා ආණ්ඩු ප්‍රධානීන්ගේ සහ හවුල්කරුවන්ගේ සහභාගීත්වයෙන් පැවති ඉහළ පෙළේ රැස්වීමක් ඇමතීමට චීන උප අග්‍රාමාත්‍ය ලියු ගුචොං මහතා (Liu Guozhong) ඊයේ (16) දින එක් විය.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභා දේශපාලන මණ්ඩල සාමාජිකයෙකු ද වන ලියු මහතා විඩියෝ තාක්ෂණය ඔස්සේ එම රැස්වීම අමතමින් අවධාරණය කර සිටියේ, පොදු අනාගතයක් සහිත මානව ප්‍රජාවක් මෙන්ම සැමට සෞඛ්‍ය සඳහා වූ ගෝලීය ප්‍රජාවක් ගොඩනැඟීමේ දැක්ම මෙම වසංගතයට එරෙහිව සටන් කිරීමේ ජාත්‍යන්තර සහයෝගීතාවය සඳහා මාවත සකසා ඇති බවයි.

එමෙන්ම චීනයත් අප්‍රිකාවත් සැමවිටම පොදු අනාගතයක් සහිත ප්‍රජාවක් වූ බව සඳහන් කළ හෙතෙම, ඉබෝලා ව්‍යාප්තිය පාලනය වෙනුවෙන් කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයට (DRC) සහ අප්‍රිකානු සංගමයට (AU) චීනය හදිසි මානුෂීය ආධාර ලබා දී ඇති බවත්, විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් කොංගෝ ජනරජය වෙත පිටත් කර හැර ඇති බවත් පැවසීය.

තවද, අප්‍රිකානු රටවල සේවය කරන චීන වෛද්‍ය වෘත්තිකයන් දහසකට ආසන්න පිරිසක් ඉබෝලා රෝගයට එරෙහිව සටන් කිරීමේදී ප්‍රාදේශීය ජනතාව සමඟ උරෙනුර ගැටෙමින් සිය උපරිමය ලබා දෙමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

චීන-අප්‍රිකා සහයෝගිතා සංසදයේ (Forum on China-Africa Cooperation) රාමුව තුළ අප්‍රිකානු කලාපය වෙත තවදුරටත් වෛද්‍ය ආධාර ලබා දීමට චීනය සූදානම් බව පැවසූ ලියු මහතා, අප්‍රිකානු රටවලට අවශ්‍ය සහයෝගය වැඩි කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා‍ ලෙස මෙහිදී ජාත්‍යන්තර ප්‍රජාව වෙතින් ඉල්ලීමක් ද කළේය.

බුරුන්ඩි රාජ්‍යයේ ජනාධිපතිවරයා මෙන්ම අප්‍රිකානු සංගමයේ වත්මන් සභාපතිවරයා ද වන Evariste Ndayishimiye මහතා මුලසුන හෙබවූ මෙම රැස්වීම සඳහා, දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ ඇතුළු අප්‍රිකානු රටවල් 10කට වැඩි සංඛ්‍යාවක රාජ්‍ය සහ ආණ්ඩු ප්‍රධානීන් මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි ජාත්‍යන්තර සහ කලාපීය සංවිධාන නියෝජිතයින් හා කලාපයෙන් පිටත හවුල්කරුවන් ද එක් විය.