චීන ජනපති සහ තායිලන්ත අගමැතිනිය අතර හමුවක්

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද(6)උදෑසන ‍බෙයිජිං මහජන මහ ශාලාවේ දී තායිලන්ත අගමැතිනිය හමු විය. තායිලන්ත අගමැතිනි Paetongtarn Shinawatra මහත්මිය චීනයේ නිල සංචාරයක් සඳහා පැමිණ සිටී. 

ෂී ජින් පිං මහතා එහිදී ‍පෙන්වා දුන්නේ, චීන-තායිලන්ත රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර ගෙවුනු වසර 50ක කාලය තුළ, දෙරට අන්‍යෝන්‍ය ගෞරවය සහ සමාන සැලකිල්ල මත ක්‍රියා කර ඇති බවයි. එමෙන්ම එකිනෙකාගේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ සංවර්ධන අවශ්‍යතා සුරැකීම සඳහා, සෑමවිටම ස්ථිර ව සහාය ‍වෙයි. මෙම වසර චීන-තායිලන්ත රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 50 වන සංවත්සරය සහ “චීන-තායිලන්ත මිත්‍රත්වයේ 50 වන ස්වර්ණ ජයන්තිය” වේ. දෙපාර්ශ්වය එක්ව ඉදිරියට යමින්, පොදු ඉරණමක් සහිත චීන-තායිලන්ත ප්‍රජාව ප්‍රශස්ත අයුරින් ගොඩනැංවීම ප්‍රවර්ධනය කළ යුතු බවත්, දෙරටේ ජනතාවට, කලාපයට මෙන්ම ලෝකයටත් වැඩි ප්‍රතිලාභ ලබා දිය යුතු බවත්, ෂී ජින් පිං මහතා සඳහන් කළේ ය. 

Paetongtarn Shinawatra මහත්මිය එහිදී පෙන්වා දුන්නේ, ගෙවී ගිය වසර 50 තුළ, තායිලන්තය සහ චීනය සෑම විටම අන්‍යෝන්‍ය විශ්වාසයෙන් මෙන්ම, එකිනෙකාගේ මූලික අවශ්‍යතාවන්ට ගරු කරමින් ක්‍රියා කර ඇති බවයි. දෙරට අතර සුවිශේෂී මිතුදමක් සහ සහයෝගීතාවයෙන් යුත් සම්බන්ධතාවක් බිහිව තිබේ. එකම චීනය යන මූලධර්මය තායිලන්තය සෑම විටම අනුගමනය කරයි. චීනය සමඟ, සාමකාමී සහ පොදු සමෘද්ධිය සහිත ඉදිරි වසර 50 ආරම්භ කිරීමට තායිලන්තය කැමැත්තෙන් සිටී. එසේම චීනය සමග සම්බන්ධීකරණය සහ සහයෝගීතාව ශක්තිමත් කරන අතරම, ගෝලීය අභියෝගයන්ට එක්ව මුහුණ දීමට, තායිලන්තය කැමැත්තෙන් සිටින බව ද Paetongtarn Shinawatra මහත්මිය එහිදී කියා සිටියා ය.