පොදු ඉරණමක් සහිත චීන-බෲනායි ප්‍රජාවක් ගොඩනැගීම දෙරට සබඳතාවන් හි නව පරිච්ඡේදයක් බව චීන ජනපති පවසයි

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ බෲනායි රාජ්‍යයේ සුල්තාන්වරයා වන Hassanal Bolkiah Muizzaddin Waddaulah මහතා අතර අද (06) පෙරවරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේදී සාකච්ඡාවක් පැවැත්විණ. 

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වී වසර 30 කට වැඩි කාලයක් තුළ, ‍අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාසය ගැඹුරු කරමින් ජාත්‍යන්තර හා කලාපීය කරුණුවලදී චීනයත් බෲනායි රාජ්‍යයත්  සහයෝගයෙන් කටයුතු කර ඇති බව ෂී ජින් පිං මහතා මෙහිදී පැවසීය. චීන-බෲනායි සබඳතාව, සෙසු රටවල් අතර සාධාරණ හා සහයෝගී සබඳතා ගොඩනැගීමට මනා ආදර්ශයක් බව ද ඔහු කීය. පොදු ඉරණමක් සහිත චීන-බෲනායි ප්‍රජාවක් ගොඩනැගීම දෙරට ජනතාවගේ මූලික අවශ්‍යතාවන්ට ගැළපෙන්නක් බවත් එය රටවල් දෙක අතර සබඳතාවන්ට නව පරිච්ඡේදයක් විවෘත කර ඇති බවත් ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය. 

තවද “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ සහ බෲනායි රාජ්‍යයේ “2035 අභිලාෂය” උපායමාර්ගික ආකාරයෙන් සම්බන්ධ කිරීම ශක්තිමත් කළ යුතු බවත්, අධ්‍යාපන, සංචාරක සහ ක්‍රීඩා ඇතුළු ක්ෂේත්‍රයන් හි සහයෝගිතා මෙන්ම ප්‍රදේශ හුවමාරු ගැඹුරු කළ යුතු බවත් හෙතෙම මෙහිදී අවධාරණය කළේය. ‍එමෙන් ම, සමානාත්මතාවයෙන් යුත් බහුධ්‍රෑව්කරණය හා සහභාගීත්ව ආර්ථික ගෝලීයකරණය තහවුරු කිරීමටත් අන්තර්ජාතික යුක්තිය සුරැකීම වෙනුවෙන් පොදු ප්‍රයත්න යටතේ දෙරට ක්‍රියා කරන බවට ද චීන ජනාධිපතිවරයා අපේක්ෂා පළ කළේය.

එකම චීනය ප්‍රතිපත්තිය බෲනායි රාජ්‍යය ස්ථීර ලෙස අනුගමනය කරන බව Hassanal Bolkiah Muizzaddin Waddaulah මහතා එහිදී අවධාරණය කළේය. ද්විපාර්ශ්වික උපායමාර්ගික හවුල්කාරීත්වය තහවුරු කරමින්, සංවර්ධනය වෙමින් පවතින රටවල පොදු ප්‍රතිලාභ ආරක්ෂා කිරීම සඳහා චීනය සමඟ බහුපාර්ශ්විකත්වය හා නිදහස් වෙළඳාම අඛණ්ඩව අනුගමනය කරනු ඇතැයි ඔහු කීය. 

“උපායමාර්ගික හවුල්කාරීත්වය ගැඹුරු කිරීම සහ පොදු ඉරණමක් සහිත චීන-බෲනායි ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම පිළිබඳ චීන-බෲනායි ඒකාබද්ධ නිවේදනය” ද මෙම අවස්ථාවේදී නිකුත් කෙරිණ.  සාකච්ඡාවෙන් පසු, අධිකරණය, “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ, ආර්ථික, වෙළඳාම සහ මාධ්‍යය ඇතුළු ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගිතා ලේඛන සඳහා අත්සන් තැබීමට ද දෙරටේ නායකයෝ එක් වූහ.