රුසියාවට එරෙහි යුරෝපා සංගමයේ නව සම්බාධක පැකේජයට චීන ව්‍යවසායන් ලැයිස්තුගත කිරීමට චීනයේ විරෝධය

රුසියාවට එරෙහි යුරෝපා සංගමයේ 19 වන සම්බාධක පැකේජයට රුසියාවේ චීන ව්‍යවසායන් ද ලැයිස්තුගත කිරීම සම්බන්ධයෙන් චීනය විරෝධය පළ කරයි. සාකච්ඡා මාර්ගයෙන් අදාළ ගැටලු විසඳීමට චීනය අඛණ්ඩව ගන්නා වූ උත්සාහයන් ද නොතකා ගෙන ඇති මෙම තීරණය වහාම නතර කරන ලෙස, චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලා තිබේ.

ඊයේ (23) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළ චීන වාණිජ අමාත්‍යංශ ප්‍රකාශයකයා අවධාරණය කර ඇත්තේ, ජාත්‍යන්තර නීතියේ හෝ එක්සත් ජාතීන්ගේ අවසරයට අදාළ නීතිමය පදනමක් නොමැති ඒකපාර්ශ්වික සම්බාධකයන්ට එරෙහිව චීනය නිරන්තරව විරෝධය පළ කර ඇති බව ය.

යුරෝපා සංගමයේ මෙවැනි ක්‍රියා, චීනයේ සහ යුරෝපා සංගමයේ නායකයින් අතර මීට පෙර ඇති කර ගත් එකඟතාවන් හි ජීව ගුණයට පටහැනි වන අතර, ද්විපාර්ශ්වික ආර්ථික හා වෙළඳ සහයෝගීතාවන්ට ද බරපතල හානි කරමින් ගෝලීය බලශක්ති ආරක්ෂාවට ද බලපෑම් කරන බව හෙතෙම මෙහිදී පෙන්වා දුන්නේය.

එබැවින් චීන ව්‍යවසායන් මෙවැනි සම්බාධක ලැයිස්තුගත කිරීම් සඳහා එක් කිරීම වහාම නතර කරන ලෙස ඉල්ලා සිටින චීනය අනතුරු අඟවා ඇත්තේ මෙවැනි ක්‍රියා තුළින් වැරදි මාවතක  යාමෙන් වළකින ලෙසයි.

එමෙන්ම චීන ව්‍යවසායන් හි නිත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා මෙන්ම එහි බලශක්ති ආරක්ෂාව සහ ආර්ථික සංවර්ධනය ද අධිෂ්ඨානශීලීව ආරක්ෂා කිරීම සඳහා චීනය නිසි පියවර ගනු ඇතැයි ද චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශකයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.