2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන මාධ්‍ය සමූහය සහ අන්තර්ජාලය ඔස්සේ නව වසරේ සුබ පැතුම් පණිවුඩය නිකුත් කරයි. එය මෙසේ ය:
සහෝදරවරුනි, මිත්‍රවරුනි, නෝනාවරුනි, මහත්වරුනි,
ආයුබෝවන්! කාලය ඉදිරියට ගලා ගෙන යයි. 2026 නව වසර පිළිගන්නා මෙම අසිරිබර මොහොතේ මම බෙයිජිං නුවර සිට ඔබ සැමට සුබ පතමි.
ගෙවී යන 2025 වසර, චීනයේ “14 වන පස් අවුරුදු” සමයේ අවසාන වසරයි. ගතවූ වසර 5 තුළ, අපි අපරිමිත ධෛර්යෙන් ඉදිරියටපිය නගා තිබේ. විවිධ දුෂ්කරතා හා අභියෝග ජය ගනිමින් අපේක්ෂිත ඉලක්ක සම්පූර්ණ කර ගත් අපි, චීන මාදිලියේ නවීකරණ නව මඟ දිගේ අධිෂ්ඨානශීලීව ගමන් කළෙමු. චීන ආර්ථිකයේ සමස්ත ප්‍රමාණය නොකඩවාම නව ඉහළ මට්ටමකට පිවිස ඇති අතර, 2025 වසරේ එම අගය චීන යුවාන් ට්‍රිලියන 140කට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ආර්ථික ශක්‍යතාව, විද්‍යා තාක්ෂණ නිපුණතාව, ජාතික ආරක්ෂක ස්වශක්තිය සහ රටේ විස්තීර්ණ ධාරිතාව නව ඉහළ තලයකට පිවිස ඇත. නිමල ජලයත් සාරවත් කඳුකරයත් පරිසර හිතකාමී බව සහතික කරමින් ජනතාවට මාහැඟි සෞභාග්‍යයක් නිර්මාණය කර ඇත. ගෙවී යන වසර 5ක ගමන්මග සුගම නොවුනද, ජයග්‍රහණයන්හී සාර්ථකත්වය දැවැන්ත ප්රයත්නයන් තුළින් ලබා ගැනීමට අප සමත්ව ඇත. නොපසුබසට උත්සාහවන්තභාවයෙන් යුතුව සමෘද්ධිමත් චීනයක් ගොඩනැගීමට කැපවූ සමස්ත රට වාසි අරගලකරුවෙකුට ම මම හෘදයාංගම ගෞරවය පුද කරමි!
2025 වසරේ අමතක කළ නොහැකි සංධිස්ථානයන් සිහිපත් කළ හැක්කේ මෙසේය. ජපාන ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධය සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය ජය ගැනීමේ 80 වන සංවත්සරය වෙනුවෙන් අනුස්මරණ උත්සවය පැවැත්වීම, තායිවාන ප්‍රදේශය යළි අපගේ ස්වෛරීභාවයට එක්වීමේ දිනය ස්ථාපිත කිරීම ඊට ඇතුළත්ය. එවැනි ගාම්භීර අවස්ථාවලදී ජයග්‍රහණ සිහි කරමින් ඒවා ඉතිහාසයේ අමරණීයව සටහන් විය. ඉතිහාසය මතකයේ තබා ගනිමින් විරුවන් අනුස්මරණයට චීන ජාතිකයන් දිරිගැන්විණ. සාමයට අගය කර පැහැබර අනාගතයක් නිර්මාණ කරමින් චීන ජාතියේ දැවැන්ත පුනර්ජීවනය උදෙසා ප්‍රබල ජවයක් බලගැන්වීම ද ඉන් අපේක්ෂා කෙරේ.
අපි අධි ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනයට සවියක් ලබා දෙන්නේ නවෝත්පාදනයෙනි. තාක්ෂණ හා කර්මාන්ත පුළුල් ලෙස එකතුවී නව නිපැයුම් ජයග්‍රහණ නොකඩවා ම ඉස්මතු වී ඇත. මහාපරිමාණ කෘත්‍රිම බුද්ධි ආකෘති රැසක් බිහි වූ අතර ස්වයං චිප පර්යේෂණ හා සංවර්ධනයේදී නව ජයග්‍රහණ රැසක් අත් කර ගෙන ඇත. ඉන් චීනය, නවෝත්පාදන හැකියාවන් වේගවත් වන ආර්ථික ඒකකයක් බවට පත්වී තිබේ. Tianwen-2 රෝවරය ග්රාහක ගවේෂණ මෙහෙයුම ආරම්භ කිරීම, Yarlung Zangbo ගංගාවේ පහළ කොටසේ ජල විදුලි බල ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කිරීම මෙන්ම පළමු විද්‍යුත් චුම්භක තාක්ෂණයෙන් යුත් ගුවන් යානා වාහක නෞකාව නාවික හමුදා සේවයට එක්වීම ඉන් කැපී පෙනේ. මානවරූපී රොබෝවරුන්ට චීන සාම්ප්‍රදායික සටන් කලා ඉදිරිපත් කළ හැකි අතර ඩ්‍රෝන යානා සංදර්ශණ, ගිනිකෙළි දසුන් සේ සුවිශේෂ ය. නිර්මාණශීලීත්වය හා නව්‍යකරණයෙන්, නව ගුණාත්මක ඵලදායිතාවක් බිහිවී ජීවිතයේ අසිරි සිරිය තව තවත් දීප්තිමත් වී ඇත.
අපේ මානසික නිවහන ඔප්නංවනුයේ අනන්‍ය වූ සංස්කෘතියෙනි. සංස්කෘතික ප්‍රදර්ශන මෙන්ම ද්‍රව්‍යාත්මක නොවන සංස්කෘතික උරුමයන් අඛණ්ඩව උණුසුම් වෙමින් පවතී. ලෝක උරුම ලැයිස්තුවට තව තවත් චීන උරුම ඇතුළත් කෙරිණ. Wu Kong හා Ne Zha යන චීනයේ ආවේණික චරිත ලොව පුරා ඉහළ ආකර්ෂණයක් දිනා ගෙන තිබේ. රටේ සාම්ප්‍රදායික මෝස්තර තරුණ පරපුරේ සිතට කා වැදී ඇත. සංස්කෘතික සංචාර වෙළෙඳපොළ උණුසුම් වීමත් සමඟම ‘නාගරික සුපිරි තරග’සහ ‘ගම්මාන සුපිරි තරග’වැනි ක්‍රියාකාරකම් උද්‍යෝගිවත් වී ඇති අතර, හිම ක්‍රීඩා ජනප්‍රියත්වය සමග ශීත ඍතුවේ ක්‍රීඩාශීලීත්වය ද උත්තේජනය වී තිබේ. සාම්ප්‍රදායත් නූතනත්වයත් සුසංයෝගයෙන් චීන සංස්කෘතියේ දීප්තිය වඩ වඩාත් දිදුලමින් ඇත.
අපි එක්ව බිහි කළ සුන්දර ජීවිතය අත්විඳිමින් සිටින්නෙමු. මම Xizang ස්වායත්තය හා ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තයේ සංචාරය කරමින් එහි සැමරුම් උත්සවවලට එක්වූයෙමි. හිමෙන් වැසුණු සානු හෝ වේවා Tianshan කඳු ප්‍රදේශ හෝ වේවා ඒ ඒ ජනවර්ගයන්ට අයත් ජනතාව දෙළුම් ගොඩියක ඇට සේ තදින් ම බැඳී සිටිති. ඔවුහූ සුදු පැහැ හාතා රෙදි, විචිත්‍ර නැටුම් ගැයුම් ඉදිරිපත් කරමින් මව් රටට දක්වන ආදරය හා සැපවත් ජීවිතයට ප්‍රසංශාව ප්‍රකාශ කළහ. ජනජීවිත අර්ථ ශූන්‍ය දෙයක් නොවේ. ගෙවී යන වසර තුළ, නව ආකෘතියේ රැකියාවල නිරත පිරිස්වලට තවත් වැඩි අයිතිවාසිකම් හිමි වූ අතර, වියපත් පුද්ගලයන්ගේ අවශ්‍යතාවන්ට අනුකූලව පහසුකම් යාවත්කාලීන කිරීමෙන් ඒ අයගේ ජීවිතය පහසු කර ඇත. ළදරුවන් සිටින පවුල්වලට හිමි විශේෂ මාසික දීමනාව යුවාන් 300කින් වැඩි කෙරිණ. සාමාන්‍ය ජනතාවගේ දෛනික අවශ්‍යතා සහතික කර සෑම පවුලකටම උණුසුම් ජීවිතයක් උදා කර දීමෙන් මුළු රටම වඩ වඩාත් සමෘද්ධිමත් කළ හැක.
අපි ලෝකය වැළඳ ගන්නේ තව තවත් විවෘත ආකාරයෙනි. ෂංහයි සහයෝගීතා සංවිධානයේ ටියැන්ජින් නායක සමුළුව, කාන්තාවන් පිළිබඳ ගෝලීය සමුළුව සාර්ථකව පවත්වා ඇති අතර, Hainan නිදහස් වෙළඳ වරායේ නිදහස් රේගු මෙහෙයුම ක්‍රියාවට නැංවීම ආරම්භ කර තිබේ. දේශගුණික විපර්යාසයට මැනවින් මුහුණ දීම සඳහා චීනය නව වටයේ ජාතික ක්‍රියාවලියකට මුල පුරා ඇත. ‘ගෝලීය මුලපිරුම් තුන’ට පසුව, මම ගෝලීය පාලන මුලපිරුම ඉදිරිපත් කළෙමි. ඉන් වඩාත් යුක්ති සහගත ගෝලීය පාලන පද්ධතියක් ගොඩනැංවීම තහවුරු කිරීම අපේක්ෂාවයි. කැළඹිලි සහගත වත්මන් ලෝකයේ ඇතැම් ප්‍රදේශ තවමත් ගැටුම්කාරී තත්ත්වයක පවතී. ඉතිහාසයේ නිවැරදි දිශානතිය ඔස්සේ ගමන් කරන චීනය, විවිධ රටවල් සමග එක්ව ලෝකයේ සාමකාමී සංවර්ධනය, පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැංවීම තහවුරු කිරීමට සූදානමින් සිටී.
මෑතකදී, මම චීන ජාතික ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට එක් වුණෙමි. ගුවංතුං-හොංකොං-මැකව් යන කලාප තුන ම එක්ව ක්‍රියා කිරීම ඉතා සතුටුදායක කරුණකි. ‘එක් රටක් ක්‍රම දෙකක්’ ප්‍රතිපත්තිය දැඩි ලෙස අනුගමනය කරමින්, හොංකොං, මැකව් මව්රටේ සංවර්ධන ක්‍රියාමාර්ගයට එක් වීමට සහාය දැක්විය යුතු අතර, එහි දිගුකාලීන සමෘද්ධිය හා ස්ථායිතාව පවත්වා ගෙන යා යුතු ය. සමුද්‍ර සන්ධි දෙපස සිටින ස්වදේශිකයන් අතර ඇත්තේ ඉතා සමීප සබැඳියාවක් හා ළෙන්ගතුකමකි. මව්රට එක්සත්වීමේ ඓතිහාසික ප්රවණතාවට කිසිදු බාධාවක් එල්ල විය නොහැක.
රට ජවසම්පන්න වන්නේ පාලක පක්ෂය ශක්තිමත් කිරීමෙන් පමණි. විනය තර කිරීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ රෙගුලාසි අටක් පිළිබඳ අධ්‍යාපනය චීන කොමියුනිස්ට් පක්ෂය තහවුරු කර ඇත. දැඩි විනයෙන් විශ්වාස ගොඩනංවා පක්ෂ පාලන තන්ත්රය ක්‍රියාත්මක කරමින් දූෂණය ඉවත් කර ස්වයං විප්ලවය තහවුරු කිරීම හරහා පක්ෂ හා පාලන ආචාරධර්ම දිගින් දිගටම ශක්තිමත් කළ යුතු ය. සිය මුල් අභිලාෂය තරයේ ම සිහි කරමින් ඊට නොපසුබටව කැපවිය යුතු ය. Yan’an හි ගුහාවල ඇති චීන කොමියුනිස්ට් පක්ෂය නිසියාකාරයේ පාලනය පිළිබඳ වැකිවලට කැපවී ජනතා හිතවාදීත්වය ප්‍රවර්ධනය කළ යුතු ය.
2026 වසර ’15 වන පස්අවුරුදු’ සැළැස්මේ ආරම්භක වසරයි. දැඩි අධිෂ්ඨාශීලී ආරම්භකයා නියත වශයෙන් ම අවසානය කරා ගමන් කරයි. සාර්ථකත්වය ආරම්භ වනුයේ පළමු පියවරෙනි. අපේ ඉලක්ක හා අරමුණු තහවුරු කළ යුතු අතර, විශ්වාසයෙන් හා කැපවීමෙන් කටයුතු කළ යුතු ය. ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් සංවර්ධනය, පූර්ණ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය තවදුරටත් පුළුල් කරමින් සමස්ත ජනතාවට පොදු සෞභාග්‍යය උදා කර දිය යුතු අතර, චීන විශ්මය සඳහා නව පරිච්ඡේදයක් රචනා කළ යුතු ය.
කඳුකරය සහ සාගරය අතර සිහිනය හඹා ගියද එහි දුර බවක් නොදැනේ. ඉදිරියට අත්තේ දිගු ගමනක් වුවද අපි අධිෂ්ඨානශීලීව ගමන් කරමු. සිහිනය හා තෘත්තිය උදෙසා නොපසුබට ධෛර්යෙන්, ජව සම්පන්න ව හා නොනවතින උත්සාහයෙන් අරගල කරන්නෙමු. විශිෂ්ට අපේක්ෂාවන් හි පැහැබර යථාර්ථය මල්ඵල බලගන්වමු.
නොබෝ කලකින් නව වසරේ හිරු පායයි. මව්රට චමත්කාර වේවා! කෙත්වතු සරු වේවා! සෞභාග්‍යය උදා වේවා! ඔබ සියලු දෙනාටම සතුට සපිරි ජීවිතයක් ලැබේවා! සියලු කාර්යයන් සාර්ථක වේවා! මනරම් අනාගතයක් උදා වේවා!