පිරිසිදු බලශක්තිය, ඩිජිටල් තාක්ෂණය, නවීන කෘෂිකර්මාන්තය, අභ්‍යවකාශ ගවේෂණය, උසස් නිෂ්පාදන සහ මූල්‍ය ආදී ක්ෂේත්‍රවල කැනඩාව සමග සහයෝගීතාවය ශක්තිමත් කිරීමට චීනය අපේක්ෂා කරන බව චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා පවසයි. හෙතෙම මේ බව කියාසිටියේ කැනඩා අග්‍රාමාත්‍ය Mark Carney මහතා සමග ඊයේ(15) බෙයිජිංහිදී පැවති සාකච්ඡාවකදීය.
එහිදී Li Qiang මහතා කියාසිටියේ චීනයේ ආයෝජනය සඳහා කැනඩාවේ ව්‍යාපාරිකයන්ට ආරාධනා කරන බවය. එමෙන්ම කැනඩාව තුළ ආයෝජනය කරන චීන ව්‍යවසායන් සඳහා සාධාරණ හා වෙනස්ව සැලකීමකින් තොර ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය වනු ඇතැයි චීනය බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළේය.
දෙපාර්ශ්වයේ පොදු කැපවීමෙන් චීන-කැනඩා සබඳතාව නව පිබිඳීමක් අත් කර ගෙන ඇති අතර එය දෙරටේ සියලු අංශවල ජනතාවගේ ඉමහත් පිළිගැනීමට ලක් වනු ඇතැයි හෙතෙම පැවසීය.
චීනය කැනඩාව සමග උපායමාර්ගික හවුල්කාරිත්වය ශක්තිමත් කරමින්, දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය වැඩි දියුණු කර ගනිමින් සහ එකිනෙකාගේ මූලික අවශ්‍යතාවලට ගරු කරමින් ප්‍රායෝගික සහයෝගීතාවය අඛණ්ඩව පුළුල් කිරීමට අපේක්ෂා කරයි. දෙරට අතර පවතින ආර්ථික සමානතා හඳුනාගෙන විවිධ ක්ෂේත්‍ර හා මට්ටම්වල හුවමාරු සබදතා වැඩි දියුණු කරමින් ද්විපාර්ශ්වික වෙළඳාම ප්‍රවර්ධනය කිරීමට සූදානම් බව ද Li Qiang මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම විවිධ ජාත්‍යන්තර සහයෝගිතා රාමු තුළ චීනය කැනඩාව සමග සහයෝගීතාවය වැඩි දියුණු කිරීමට අපේක්ෂා කරන බවත් බහුපාර්ශ්විකවාදය සහ නිදහස් වෙළඳාම එක්ව ඉදිරියට ගෙන යාමට සූදානම් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර Mark Carney මහතා එහිදී සඳහන් කළේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමේ සිට මේ දක්වාම කැනඩා රජය එකම චීනය මූලධර්මය පිළිගන්නා බවය. එමෙන්ම කැනඩාව චීනය සමග විවිධ ක්ෂේත්‍රවල සංවාද ශක්තිමත් කරමින් විවිධ අංශවල සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීමට සූදානම් බව ඔහු සඳහන් කළේය. වත්මන් ජාත්‍යන්තර තත්ත්වයේ සංකීර්ණ වෙනස්කම් හමුවේ ජාත්‍යන්තර කටයුතුවලදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යභාරය ඵලදායී ලෙස ඉටු කිරිම සඳහා චීනය සමග සන්නිවේදනය සහ සහයෝගීතාවය පවත්වා ගැනීමට කැනඩාව බලාපොරොත්තු වන බව ද ඔහු පැවසීය.
සාකච්ඡාවලින් අනතුරුව, අගමැතිවරුන් දෙපළ බහු-සහයෝගීතා ලේඛන අත්සන් කිරීමේ අවස්ථාවට එක් වූහ.