අස්ථාවරත්වයෙන් යුත් වත්මන් ලෝකය වෙත අඛණ්ඩ ස්ථාවරත්වයක් දීමට චීනය සූදානම් බව අවධාරණය කෙරේ

ලෝක තත්ත්වයන් කොපමණ වෙනස් වුවද වත්මන් ලෝකය වෙත අඛණ්ඩ ස්ථාවරත්වයක් ලබා දීමට සූදානම් බව චීනය පවසයි.

ඒ පිළිබඳ අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා අද (23) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී සඳහන් කළේ, තම රටෙහි සංවර්ධන ක්‍රියාවලිය හරහා ලොව සෙසු රටවල පොදු සංවර්ධනය වෙනුවෙන් අවස්ථා සැලසීමටත්, විශ්වාසය හා ගාමක බලය ලබා දීමටත් චීනය සූදානම් බවයි.

2026 ලෝක ආර්ථික සංසදය අද (23) ස්විටර්ලන්තයේ Davosහිදී නිමාවට පත් වීමට නියමිතව ඇත. එහිදී අදහස් දැක්වූ විවිධ පාර්ශ්වයන් සිය කනස්සල්ල පළ කරමින් සඳහන් කළේ, මතභේදාත්මක හා ගැටුම්කාරී තත්ත්වයන් තවදුරටත් ලොව පුරා සිදු වනු ඇති බවයි.

මේ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා පැවසුවේ චීන උප අග්‍රාමාත්‍ය He Lifeng මහතා එම සංසදයට එක්වී සිය දේශනය හරහා නිදහස් වෙළඳාම, බහුපාර්ශ්වවාදය තහවුරු කළ යුතු බවට අදාළ අදහස් ඉදිරිපත් ක‍ළ බවයි. විවිධ පාර්ශ්වයන් සමග එක්ව, සංවාද මාර්ගවලින් මතභේද තුරන් කිරීමටත්,සහයෝගිත්වයෙන් යුතුව අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කිරීමට මෙන්ම අත්වැල් බැඳගනිමින් ගෝලීය අභියෝගයන්ට මුහුණ දීමටත් චීනය කැමැත්තෙන් සිටින බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.