ලෝක වෙළඳ සංවිධානයේ ප්‍රතිසංස්කරණ සඳහා චීනයෙන් ක්‍රියාකාරී සහභාගිත්වයක්

ලෝක වෙළඳ සංවිධානයේ සාමාජිකයන් 30කට ආසන්න සංඛ්‍යාවක සහභාගීත්වයෙන් යුතු අමාත්‍ය මට්ටමේ රැස්වීමක් ස්විට්සර්ලන්තයේ ඩාවෝස්හිදී ඊයේ (22) පැවැත්විණ. ස්විට්සර්ලන්ත ෆෙඩරල් සභාපති සහ ආර්ථික කටයුතු, අධ්‍යාපන සහ පර්යේෂණ අමාත්‍ය Guy Parmelin මහතා මෙම රැස්වීමෙහි මුලසුන දැරීය.

චීනය, ඇමරිකාව, යුරෝපා සංගමය, දකුණු අප්‍රිකාව, නවසීලන්තය සහ දකුණු කොරියාව ඇතුළු සාමාජිකයන්හි අමාත්‍යවරු හෝ නියෝජිතවරු මෙන්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Ngozi Okonjo-Iweala මහත්මිය ද රැස්වීමට සහභාගී වූහ. චීන උප වාණිජ අමාත්‍ය Li Chenggang මහතා ඊට සහභාගි වී දේශනයක් පැවැත්වීය.

ලෝක වෙළඳ සංවිධානයේ මූලික මූලධර්ම ගෝලීය වෙළඳ වර්ධනය සඳහා ස්ථාවරත්වයක් ලබා දෙන බව Li Chenggang මහතා එහිදී අවධාරණය කළේය. සංවිධානයේ ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කිරීමටත් එහි අධිකාරිය තහවුරු කිරීමටත් සාමාජිකයින් ප්‍රායෝගිකව සහයෝගයෙන් කටයුතු කළ යුතු බව හෙතෙම සඳහන් කළේය.

චීනය බහුපාර්ශ්වික වෙළඳ පද්ධතියට ස්ථිර ලෙස සහාය දක්වයි. සංවිධානයේ ප්‍රතිසංස්කරණ සඳහා චීනය ක්‍රියාකාරීව සහභාගී වන අතර එහි ප්‍රතිලාභ සියලුම සාමාජිකයින් වෙත සැලසීම සහතික කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.