චීනයේ ඖෂධ පරිපාලන රෙගුලාසිවල නව සංශෝධනයක්

ඖෂධ නවෝත්පාදන ප්‍රවර්ධනය, ඖෂධ අන්තර්ජාල අලෙවි කළමනාකරණය ශක්තිමත් කිරීම සහ ඖෂධ අධීක්ෂණය තහවුරු කිරීම වෙනුවෙන් චීනය ඖෂධ පරිපාලන රෙගුලාසි සංශෝධනය කරයි. 

ඒ අනුව මෙම ඖෂධ පරිපාලන පනත ක්‍රියාත්මක කිරීම පිළිබඳ සංශෝධිත රෙගුලාසි සඳහා චීන අග්‍රමාත්‍ය Li Qiang මහතා අත්සන් තබා‍ ඇත.  එයට පරිච්ඡේද 9ක් සහ ලිපි 89ක් ඇතුළත් වන අතර මැයි 15 වැනි දින සිට එය බලාත්මක කෙරේ. 

ඖෂධ සංවර්ධනය සඳහා සායනික වටිනාකම මත පදනම් වූ ප්‍රවේශයක් අවධාරණය කරන මෙම සංශෝධිත රෙගුලාසි නවෝත්පාදනයට දිරිගැන්වීම සහ නව ඖෂධවල සායනික යෙදවුම් හා භාවිතයට සහාය වීම වෙනුවෙන් ස්ථාපිත කර තිබේ. 

එමෙන්ම ඖෂධ අලෙවිකරණය සඳහා අවසර ලබා ගැනීමට අවශ්‍ය වේගවත් සමාලෝචන මාර්ග මෙමගින් හඳුන්වා දී ඇත. මෙම සංශෝධිත රීති මගින් ඖෂධ නිෂ්පාදන කළමනාකරණය ද දැඩි කර තිබේ. සාම්ප්‍රදායික චීන ඖෂධ නිෂ්පාදනය සහ අලෙවියට අදාළ විශේෂ තත්ත්වයන්ද  මෙහිදී පැහැදිලි කර ඇත. බෙදාහැරීමේ කටයුතු පිළිබඳ අවධානය යොමු කරමින් අන්තර්ජාල අලෙවිය සඳහා පහසුකම් සලසමින් එහි අධීක්ෂණ කටයුතු වැඩි දියුණු කර තිබේ. එමෙන්ම තෙවන පාර්ශ්වීය විද්‍යුත් වාණිජ වේදිකා ක්‍රියාකරුවන්ට වැඩි වගකීමක් ලබා දීම කැපී පෙනේ. 

මෙම රෙගුලාසි මගින් පරීක්ෂණ පියවර නිශ්චිතව සඳහන් කර ඇති අතර ගුණාත්මක සාම්පල ලබා ගැනීම සහ පරීක්ෂා කිරීමේ ක්‍රියාපටිපාටි ද විස්තර කරයි. එමෙන්ම පරීක්ෂණ ප්‍රතිඵලවලට විරුද්ධ නම් ඒවා නැවත පරීක්ෂා කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි අතර නීතිමය තත්ත්වයන් උල්ලංඝනය කිරීම් සඳහා දැඩි නීතිමය වගකීම් ද ස්ථාපිත කිරීම විශේෂත්වයකි.