චීන විදේශ ඇමති සහ රුසියානු ආරක්ෂක කවුන්සිලයේ ලේකම් අතර උපායමාර්ගික සංවාදයක්

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජිකයෙකු සහ විදේශ කටයුතු පිළිබඳ මධ්‍යම කොමිසමේ අධ්‍යක්ෂවරයෙකු ද වන විදේශ අමාත්‍ය වන්ග් යී මහතා ඊයේ (01) බෙයිජිංහිදී රුසියානු ආරක්ෂක කවුන්සිලයේ ලේකම් සර්ජි ෂොයිගු මහතා හමු විය. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතාගේ උපදෙස් පරිදි ඔහුගේ නියෝජිතයකු ලෙස මෙම උපායමාර්ගික සංවාදය සඳහා ෂොයිගු මහතා එක්ව ඇත.

පශ්චාත් යුද ජාත්‍යන්තර පිළිවෙල සමඟ ලෝකය අන්කවරදාටත් වඩා වැඩි වශයෙන්  වෙනස්කම් සහ කැළඹීම් සඳහා මුහුණ දෙමින් සිටින බව චීන විදේශ අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. එහිදී ජාත්‍යන්තර සබඳතා පාලනය කෙරෙන සම්මතයන් දැඩි අවදානමකට ලක්ව ඇති බවත්, එය ලෝකය යළි කැලෑ නීතිය වෙත යාමේ සැබෑ තර්ජනයකට මුහුණ දීමක් බවත් හෙතෙම පැවසීය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන රටවල් සහ ස්ථිර සාමාජිකයන් ලෙස, චීනය හා රුසියාව සැබෑ බහුපාර්ශ්විකත්වය ක්‍රියාත්මක කිරීමටත්, එක්සත් ජාතීන්ගේ හර පද්ධතීන් ආරක්ෂා කිරීමටත්, විශ්වීය වශයෙන් ප්‍රයෝජනවත් අන්තර්කරණයෙන් යුත් ආර්ථික ගෝලීයකරණයක් වෙනුවෙන් පෙනී සිටීමින් වඩාත් සාධාරණ ගෝලීය පාලන පද්ධතියක් ගොඩනැගීම සඳහා ක්‍රියා කිරීමට වගකීම් සහගතව බැඳී සිටින බවත් වන්ග් යී මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

එමෙන්ම දෙරටේ නායකයන් ඇති කර ගත් වැදගත් එකඟතාවන් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරමින්, උපායමාර්ගික සන්නිවේදනය සහ සම්බන්ධීකරණය ගැඹුරු කර නව වසරේ චීන-රුසියානු සබඳතා සඳහා නව අපේක්ෂාවන් විවෘත කිරීමට චීනය සූදානම් බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී අදහස් දක්වමින් සර්ජි ෂොයිගු මහතා පැවසුවේ, 2026 වසර රුසියානු-චීන අසල්වැසි සහ මිත්‍රශීලී සහයෝගිතා ගිවිසුම අත්සන් කිරීමේ 25 වන සංවත්සරය සනිටුහන් කරන බවයි. එමෙන්ම අන්‍යෝන්‍ය ගෞරවය, විශ්වාසය, සමානාත්මතාවය සහ ප්‍රතිලාභ මත දෙරට අතර සබඳතා වඩාත් ශක්තිමත්ව තහවුරු වී ඇති බව ද හෙතෙම පැවසීය.

තවද, රුසියාව සැමවිටම “එකම-චීනය” මූලධර්මය ආරක්ෂා කර ඇති අතර, යළි  හමුදාකරණය වේගවත් කිරීමට ජපානය දරන උත්සාහයන්ට දැඩිව විරෝධය දක්වා ඇති බව ෂොයිගු මහතා සඳහන් කළේය.

එමෙන්ම චීනය සමඟ එකිනෙකා වෙත ස්ථිරව සහයෝගය දක්වමින්, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ෂැංහයි සහයෝගිතා සංවිධානය සහ බ්‍රික්ස් වැනි බහුපාර්ශ්වික යාන්ත්‍රණ තුළ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට රුසියානු පාර්ශවය සූදානම් බව ඔහු ‍අවධාරණය කළේය. මීට අමතරව දෙපාර්ශ්වයම අන්‍යෝන්‍ය වශයෙන් සැලකිලිමත් වන විවිධ ජාත්‍යන්තර හා කලාපීය කරුණු සම්බන්ධයෙන් ද වන්ග් යී මහතා සහ ෂොයිගු මහතා අතර මෙහිදී ගැඹුරු උපායමාර්ගික සන්නිවේදනයක් පැවැත්විණ.