චීන විදේශ අමාත්‍යවරයා සහ වියට්නාම විශේෂ නියෝජිතයකු අතර හමුවක්

චීන විදේශ අමාත්‍ය වන්ග් යී මහතා සහ වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ (CPV) මධ්‍යම කාරක සභාවේ මහලේකම් To Lam මහතාගේ විශේෂ නියෝජිත Le Hoai Trung මහතා අතර හමුවක් ඊයේ (03) බෙයිජිංහිදී සිදු විය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජිකයකු ද වන වන්ග් යී මහතා, වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනයේ සාර්ථකත්වය පිළිබඳව එහිදී සිය සුබ පැතුම් එක් කළේය.

චීන ජනපති ෂී ජින්පිං මහතා සහ මහලේකම් To Lam මහතා මෑතකදී දුරකථන සංවාද පැවැත්වූ බවත්, දෙරට අතර සංවර්ධනය ප්‍රවර්ධනය සඳහා එක්සත්ව සහයෝගයෙන් කටයුතු කිරීමේ වැදගත්කම එහිදී ඔවුන් අවධාරණය කළ බවත් හෙතෙම පැවසීය.

එමෙන්ම දෙරටේ නායකයින් අතර ඇති කරගත් වැදගත් එකඟතාවන් අනුගමනය කරමින්, ද්විපාර්ශ්වික සහයෝගිතා තුළින් අන්‍යෝන්‍ය‍ ප්‍රතිලාභ වැඩි දියුණු කිරීම සඳහා චීනය, වියට්නාමය සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බවත් වන්ග් යී මහතා සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ Le Hoai Trung මහතා, මහලේකම් To Lam මහතා වෙත යැවූ සුබ පැතුම් ලිපියට සහ වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය සාර්ථකව අවසන් වීමෙන් පසු සුබ පැතුම් පිරිනැමීම සඳහා විශේෂ නියෝජිතයෙකු වියට්නාමය වෙත යැවීමට ගත් පියවර සම්බන්ධයෙන් චීන ජනපතිවරයා වෙත පක්ෂයේ මෙන්ම වියට්නාම ජනතාවගේ ද අවංක ස්තූතිය පළ කළේය.

තවද, වියට්නාමය සැමවිටම චීනය සමඟ සබඳතා සඳහා ප්‍රමුඛතාව දෙමින් එකම චීනය ප්‍රතිපත්තියට තදින් අනුගත වන බවත්, තායිවාන ස්වාධීනත්වය ලෙසින් හුවා දැක්වෙන ඕනෑම ආකාරයක බෙදුම්වාදී ක්‍රියාවකට විරුද්ධ වන බවත් හෙතෙම මෙහිදී වැඩිදුරටත් පැවසීය.