සෑම රටකම ස්වෛරීත්වය, ආරක්ෂාව හා භෞමික අඛණ්ඩතාවට ගරු කළ යුතු බව චීන විදේශ ඇමති කියයි

සෑම රටකම ස්වෛරීත්වය, ආරක්ෂාව හා භෞමික අඛණ්ඩතාවට ගරු කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වං යී මහතා පවසයි. ඒ අතරම සිවිල් වැසියන් හා හමුදාමය නොවන ඉලක්ක වෙත එල්ලවන ප්‍රහාරයන් හෙළා දැකිය යුතු බවද හෙතම කියා සිටී. බහරේන විදේශ අමාත්‍ය bin Rashid Al Zayani සමග පැවති දුරකථන සංවාදයකදී චීන විදේශ ඇමතිවරයා ඒ බව සඳහන් කළේය.

බහරේන විදේශ ඇමතිවරයා විසින් කලාපීය තත්ත්වය හා බහරේනයේ ස්ථාවරය පැහැදිලි කරමින් කියා සිටියේ තම රට සාමය අගයන රටක් වන අතර නීති විරෝධී ප්‍රහාරයන්ට ද ලක් නොවිය යුතු බවයි. කලාපයේ සාමය හා ස්ථාවරත්වය කඩිනමින් ස්ථාපිත කිරීම සඳහා චීනය දරන උත්සාහයන් බහරේනයේ අගය කිරීමට ද ලක්ව ඇත.තම රට තුළ  සි‍‍ටින චීන ජාතිකයන් සහ අදාළ ආයතනවල ආරක්ෂාව වෙනුවෙන් අඛණ්ඩව ශක්තිමත් පියවර ගන්නා බවද බහරේන විදේශ ඇමතිවරයා පැවසීය.

ගල්ෆ් කලාපයේ තත්ත්වය වේගයෙන් වෙනස්වීම සහ බහරේනයේ ආරක්ෂාවද ගැටළු සහගත මට්ටමකට පත්වීම සම්බන්ධයෙන් චීනයේ දැඩි සැලකිල්ල යොමුව ඇති බව චීන විදේශ ඇමතිවරයා එහිදී පැවසීය.වර්තමානයේ ඉහළම ප්‍රමුඛතාව විය යුත්තේ කඩිනමින් හමුදා මෙහෙයුම් නතර කර ගැටුම තවදුරටත් පැතිරයාම වැළැක්වීම බව යැයි ද වං යී මහතා පෙන්වා දුන්නේය.අවසන් විසඳුමකට ළඟාවිය හැක්කේ පොදුවේ ජාත්‍යන්තර නීතියට සහ ජාත්‍යන්තර සබඳතාවන්හී මූලධර්මයන්ට ගරු කිරීමෙනි. ගල්ෆ් කලාපයේ උපායමාර්ගික හවුල්කරුවෙකු සහ වගකීම් සහගත රටක් ලෙසට යුද්ධ නතර කර සාමය ප්‍රවර්ධනයට චීනය සක්‍රීය අන්දමින් ක්‍රියා කරන බවද චීන විදේශ ඇමතිවරයා පෙන්වා දුන්නේය.

මේ අතර මැද පෙරදිග පිළිබඳ චීන වි‍ශේෂ නියෝජිතයා එම කලාපයට ගොස් ඇති අතර ඔහු බහරේනයට පැමිණීමට ද නියමිතව තිබේ.