කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ සංවර්ධනය සඳහා ස්වයං විශ්වාසය සහ විවෘත ජාත්‍යන්තර සහයෝගීතාවයේ අවශ්‍යතාව චීනය අවධාරණය කරයි
නැගෙනහිර චීනයේ ෆුජියන් පළාතේ Fuzhou හි පැවති 09 වන ඩිජිටල් චීන සමුළුවේ සමාරම්භක උත්සවයට එක්වෙමින් චීන උප අගමැති Ding Xuexiang මහතා ඊයේ (29) මේ බව පැවසීය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටුවේ සාමාජිකයෙකු ද වන හෙතෙම මෙහිදී අවධාරණය කර සිටියේ, චීනය කෘත්‍රිම බුද්ධිය සහ ඩිජිටල් තාක්ෂණය අතින් සංවර්ධනය ඉහළ නැංවීම, චීන නවීකරණයේ සමස්ත ප්‍රගතිය මත රඳා පවතින උපායමාර්ගික කාර්යයක් බව පැවසීය.
එහිදී චීනයේ කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා වැදගත් වන ප්‍රධාන අංශ පහක් සම්බන්ධයෙන් ඔහු අවධානය යොමු කළේය.
ස්වයං විශ්වාසය සහ ස්වාධීන නවෝත්පාදනයේ අවශ්‍යතාවය එමඟින් අවධාරණය කළ ඔහු, ඕනෑම බාහිර පීඩනයකට හෝ මර්දන උත්සාහයකට ඔරොත්තු දීම සඳහා චීනයේ කෘත්‍රිම බුද්ධි අංශය තමන්ගේම මාර්ගයක් සකස් කළ යුතු බව සඳහන් කළේය.
එමෙන්ම යෙදුම් මත පදනම් වූ සංවර්ධනයක් සමඟින් කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයට අදාළ ආර්ථිකය ගැඹුරින් ඒකාබද්ධ කර නව ගුණාත්මක නිෂ්පාදන බලවේගයන් ඇති කිරීම වේගවත් කරන ලෙස ද චීන උප අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටියේය.
තවද, කෘත්‍රිම බුද්ධි කර්මාන්ත දාමය පුරා සමීප සම්බන්ධීකරණයක් සහිතව සහයෝගීත්වයෙන් යුත් නවෝත්පාදන පරිසර පද්ධතියක් ගොඩනැගීමේ වැදගත්කම හෙතෙම තවදුරටත් අවධාරණය කළේය.
එමෙන්ම ගෝලීය වශයෙන් ද විවෘත හා අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වන සහයෝගීතාවයක් වෙනුවෙන් පෙනී සිටිමින්, ගෝලීය කෘත්‍රිම බුද්ධි පාලන මුලපිරීම මනාව ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඔහු ගැඹුරු ජාත්‍යන්තර සහයෝගීතාවයක් ඉල්ලා සිටියේය.
තාක්‍ෂණය සැමවිටම සේවා සැපයීම සිදු කරන බවත්, මානව වර්ගයාගේ පාලනය යටතේ එය පවතින බවත් සහතික කිරීම සඳහා ශක්තිමත් නියාමනයක් සහිතව කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයේ සංවර්ධනය ආරක්ෂිතව සහ පාලනය කළ හැකිව පැවතිය යුතු බව ද චීන උප අගමැති Ding Xuexiang මහතා මෙහිදී අවධාරණය කළේය