ගෝලීය නවෝත්පාදන ජාලයට ක්‍රියාශීලිව එක් වෙමින් විද්‍යා හා තාක්ෂණික කළමනාකරණය සඳහා දායකත්වය ලබා දිය යුතු බව චීන ජනපති පවසයි

මූලික පර්යේෂණ ශක්තිමත් කරමින් විද්‍යාව හා තාක්ෂණයෙන් රට සවිබලගැන්වීමේ අවශ්‍යතාව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අවධාරණය කරයි.

අද (30) චීනයේ ශැංහයි නගරයේ පැවති වැඩමුළුවකට එක් වෙමින් හෙතෙම මූලික පර්යේෂණ ශක්තිමත් කිරීම පිළිබඳ දේශනයක් පැවැත්වීය. චීන විද්‍යා හා තාක්ෂණ ඇමතිවරයා, අධ්‍යාපන ඇමතිවරයා, චීන විද්‍යා ඇකඩමියේ සභාපතිවරයා, බෙයිජිං විශ්වවිද්‍යාලයේ ගණිත විද්‍යා පීඨාධිපතිවරයා ඇතුළු නිලධාරීහු හා වියතුන් රැසක් වැඩමුළුවට එක් වූහ. එහිදී ඔවුන් මූලික පර්යේෂණ ශක්තිමත් කිරීම සම්බන්ධව සිය අදහස් හා යෝජනා ඉදිරිපත් ක‍ර ඇත. ෂී ජින්පිං ජනාධිපතිවරයා දේශනයක් පැවැත්වූයේ එම අදහස් හා යෝජනාවලට සවන්දීමෙන් පසුව ය.

මූලික පර්යේෂණ සමස්ත විද්‍යා ව්‍යූහයේ මුලාරම්භය බවත්, රජය මූලික පර්යේෂණ ඉතා වැදගත් කොට සලකන බවත්, ෂී ජින්පිං මහතා එහිදී කියාසිටියේය. ගෝලීය විද්‍යා හා තාක්ෂණ තරගකාරීත්වය හමුවේ මූලික පර්යේෂණ මත පදනම් වන දියුණුතම ක්ෂේත්‍ර කෙරෙහි වැඩි අවධානයක් ‍යොමු කළ යුතුය. ඒ සඳහා පූර්ණ සැලැස්මක් සකස් කරමින් මූලික පර්යේෂණ වෙනුවෙන් පද්ධතිමය සැකසීමක් සිදු කළ යුතුය. එසේම අධ්‍යාපනික ගුණාත්මකභාවය ඉහළ නංවා ගනිමින් මූලික පර්යේෂණ සඳහා අවශ්‍ය පර්යේෂකයන් පිරිස වඩාත් ශක්තිමත් කළ යුතු බව චීන ජනාධිපතිවරයා පෙන්වා දෙයි. මූලික පර්යේෂණ වෙනුවෙන් රජය ලබාදෙන මූල්‍ය සහාය ඉදිරියේදී වැඩි කරනු ඇතැයි ද හෙතෙම පවසයි. එසේම චීනය ගෝලීය නවෝත්පාදන ජාලයට ක්‍රියාශීලිව එක් වෙමින් ගෝලීය විද්‍යා හා තාක්ෂණික කළමනාකරණය සඳහා දායකත්වය ලබා දිය යුතු බව ද චීන ජනාධිපතිවරයා සිය දේශනයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.