ගාසා වැසියන් ඉවත් කිරීමේ ඇමරිකානු ජනාධිපතිවරයාගේ යෝජනාව හමාස් සංවිධානය හෙළා දකී

ගාසා තීරයේ වැසියන් අසල්වැසි ඊජිප්තුවේ සහ ජෝර්දානයේ නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය හමාස් සංවිධානය හෙළා දකියි.

එවැනි යෝජනා හාස්‍යජනක බවත්, ඊශ්‍රායල ආක්‍රමණය හරහා බලහත්කාරයෙන් ලබා ගැනීමට නොහැකි වූ දේ දේශපාලන කුමන්ත්‍රණ හරහා ලබා ගත නොහැකි බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් හමාස් නායක සාමි අබු සුහ්රි පවසා ඇත. 

එමෙන්ම ගාසා තීරය නැවත ගොඩනැගීමේ මුවාවෙන් පලස්තීනුවන් අවතැන් කිරීම පිළිබඳ එක්සත් ජනපදය යළි යළිත් නිකුත් කරනු ලබන නිවේදන මගින් රට තුළ අපරාධකාරී ක්‍රියාවකට හවුල් වීම නියෝජනය කරන්නක් බව ද අබු සුහ්රි වැඩිදුරටත් සඳහන් කරයි.

ගාසා තීරයේ සිට ඊජිප්තුවට සහ ජෝර්දානයට පලස්තීනුවන් අවතැන් කිරීමේ මතභේදාත්මක සැලැස්මක් ඇමරිකානු ජනපති ට්‍රම්ප් විසින් ජනවාරි 25 වන දින  යෝජනා කළ අතර එය රටවල් දෙකම දැඩි ලෙස ප්‍රතික්ෂේප කළේය.