ද්විපාර්ශ්වික සබඳතා නව තලයකට ගෙන යාමට චීනයත් බංග්ලාදේශයත් සූදානම්

චීන විදේශ අමාත්‍ය වං යී මහතා බංග්ලාදේශ අන්තර්කාලීන රජයේ විදේශ කටයුතු පිළිබඳ උපදේශක Touhid Hossain මහතා සමඟ ඊයේ (21) බෙයිජිං හි දී සාකච්ඡාවකට එක් විය. 

දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 50 වැනි සංවත්සරය මෙන්ම “චීන-බංග්ලාදේශ මානව සංස්කෘතික හුවමාරු වසර” මෙම වසරේ සනිටුහන් කෙරෙන බව වං යී මහතා එම අවස්ථ‍වේ දී පැවසීය. ඒ අනුව සාම්ප්‍රදායික මිත්‍රත්වය, උපායමාර්ගික සන්නිවේදනය මෙන්ම ද්විපාර්ශ්වික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමට චීනය අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. තවද “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ හා සම්බන්ධ සහයෝගිතා ගැඹුරු කරමින්, චීන-බංග්ලාදේශ විස්තීරණ උපායමාර්ගික හවුල්කාරීත්වය අඛණ්ඩව ප්‍රවර්ධනය කිරීමටත් චීනය කැමැත්තෙන් පසු වන බව වං යී මහතා එම අවස්ථාවේදී අවධාරණය කර ඇත. 

මෙහිදී අදහස් දක්වමින් Touhid Hossainමහතා ප්‍රකාශ කළේ, චීනය  සමඟ මිත්‍රත්වය පවත්වා ගැනීම බංග්ලාදේශයේ බහුතර දේශපාලන පක්ෂයන් හි එකඟතාවක් බවත්, එය පෙර පැවති රජයේ මෙන්ම වත්මන් රජයේ සහ ජනතාවගේ ද අනුබලයට ලක්ව ඇති බවයි. එමෙන්ම දෙරට අතර සබඳතා නව තලයකට ගෙන යනු ඇතැයි බංග්ලාදේශය බලාපොරොත්තු වන බව ද ඔහු පෙන්වා දුන්නේය.