දෙවන ලෝක යුද ජයග්‍රහණයේ ප්‍රතිඵල රැක ගැනීමේ අවශ්‍යතාව චීනයත් රුසියාවත් අවධාරණය කරයි

රුසියාවේ නිල සංචාරයක නිරතව සිටින චීන විදේශ අමාත්‍ය වන්ග් යී මහතා සහ රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් මහතා අතර ඊයේ (02) මොස්කව් හිදී විශේෂ හමුවක් පැවැත්විණ. දෙවන ලෝක යුද ජයග්‍රහණයෙන් පසු ඇති කර ගත් ජාත්‍යන්තර පද්ධතිය ආරක්ෂා කිරීමේ වැදගත්කම මෙහිදී දැඩිව අවධාරණය කළ ඔවුන් සියලු රටවලින් ඉල්ලා සිටියේ එය රැක ගැනීම වෙනුවෙන් එක් වන ලෙසයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජිකයෙකු ද වන වන්ග් යී මහතා මෙහිදී සඳහන් කළේ, චීන සහ රුසියානු නායකයින්ගේ උපායමාර්ගික මඟ පෙන්වීම යටතේ දෙරට අතර සබඳතා ඉහළ මට්ටමේ පුළුල් පරාසයකින් උසස් තත්ත්වයේ සංවර්ධනයක් අත්කර ගෙන ඇති බවය. එමෙන්ම ලෝකය වෙත ස්ථාවරත්වය සහ නිශ්චිතභාවය ලබා දීමේ අරමුණින් දෙරටේ නායකයින් මෙම වසරේදී දෙවරක් ගැඹුරු සාකච්ඡා සඳහා එක් වූ බවත්, දෙවන ලෝක යුද ජයග්‍රහණයේ ප්‍රතිඵල ස්ථිරව තහවුරු කිරීමට සහ යුක්තිය හා සාධාරණත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් එහිදී දෙපාර්ශ්වය එකඟ වූ බවත් හෙතෙම සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයන් ලෙස මෙන්ම නව යුගයක් සඳහා වන සම්බන්ධීකරණයේ පුළුල් උපායමාර්ගික හවුල්කරුවන් ද ලෙස, චීනය සහ රුසියාව කලාපීය සාමය සහ ස්ථාවරත්වයට හානි කරන සහ නැවත හමුදාකරණය කිරීමට උත්සාහ දරන ජපානයේ අන්ත දක්ෂිණාංශික බලවේගයන් හි ප්‍රකෝපකාරී ක්‍රියාවන් අධිෂ්ඨානශීලීව මැඩපැවැත්වීම සඳහා සම්බන්ධීකරණයෙන් සහ සහයෝගයෙන් කටයුතු කිරීම අඛණ්ඩ සිදු කළ යුතු බව ද වන්ග් මහතා මෙහිදී පැවසීය.

තවද, චීන පුරවැසියන් සඳහා රුසියාවේ වීසා රහිත ප්‍රතිපත්තිය, චීන-රුසියා පුළුල් උපායමාර්ගික හවුල්කාරිත්වයේ විචිත්‍රවත් ප්‍රකාශනයක් වන බවත්, එය දෙරටෙහි විවිධ ක්ෂේත්‍රයන් හි හුවමාරු සහ සහයෝගීතා ප්‍රවර්ධනය කරනු ඇති බවත් වන්ග් යී මහතා සඳහන් කළේය.

එමෙන්ම ලබන වසර චීන-රුසියා උපායමාර්ගික සම්බන්ධීකරණ හවුල්කාරිත්වය ස්ථාපිත කිරීමේ 30 වන සංවත්සරය මෙන්ම චීන-රුසියා යහපත් අසල්වැසි සහ මිත්‍රශීලී සහයෝගීතා ගිවිසුම අත්සන් කිරීමේ 25 වන සංවත්සරය සනිටුහන් කරන බව සඳහන් කළ චීන විදේශ අමාත්‍යවරයා, දෙරට අතර සබඳතා වර්ධනය කිරීම නව ඓතිහාසික අවස්ථාවන්ට මග පාදන බවත් පැවසීය.

මෙහිදී අදහස් දක්වමින් රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් මහතා සඳහන් කළේ, 

රුසියා-චීන පුළුල් උපායමාර්ගික සම්බන්ධීකරණ හවුල්කාරිත්වය තවදුරටත් තහවුරු කිරීම සඳහා මේ වසර තුළ දෙරටේ නායකයින් අතර පැවති සාකච්ඡා නව ජවයක් ලබා දුන් බවය. එමෙන්ම රුසියාව එකම චීනය මූලධර්මයට අනුගත වන බවත්, තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරයට දැඩිව සහාය දක්වන බවත් හෙතෙම මෙහිදී යළි අවධාරණය කළේය.